Friday, February 11, 2011

මට කෝල් කරන්න වෙන කොල්ලො නෑ ......

ඔන්න ඔහොම කාලෙ ගත වෙලා ගියා නොදැනිම..

විභාගෙ අන්තිම පේපර් එකට පස්සෙ සති කිහිපයක් හිටපු පළාතෙන් බැහැරව හිටිය නිසාත්, අළුත්ම අත්දැකීම් ගොඩක් එකතු වෙච්ච නිසත් මට අර සිද්ධි අමතකම වෙලා ගියා.

ආයෙත් ගම්පලාතට ගොඩ බැස්සෙත් OL පෙන්ඩිං රිසාල්ට්ස් කාලෙ ආයෙ මොනවද ඉතින් එක එක ඒවට හොට දාන්නයි, අහක යන කරදර දාගන්නවටයි වඩා වැඩක් තිබුනා කියලය. ඒ වෙනකොට ගොඩක් උන් ක්ලාස් යන්නත් පටං ගෙන. හපෝ ක්ලාස්, ගෙදරිනුත් අවුලක් දැම්මෙ නැති නිසා මම පොතට තිත තියලා තිබ්බා ලස්සනට.

රිසාල්ට් දවසත් ආවා (ප්‍රථිපල ජාලෙට දාපු දවස)

අවුලක් නෑ ගොඩ, අලියි බස්සොයි ටිකක් ඉන්නව. යාන්තම් ජාමෙ බේරගෙන. ලොකු රිසාලට් එකක් නම් නෑ. ඒත් ඉතින් හැමෝටම ඕනෙ නෙව දැනගන්න. දැන් ඉතින් පටං ගත්තනෙව දුරකථන සංග්‍රාමෙ,

එහා පැත්තෙන් "පුතා ගෙ කෝමද"

අම්ම "අලි අච්චරයි, බස්සො මෙච්චරයි අනේ... අහවලාගෙ කෝමද?"

ඕක ඉතින් OL රිසාල්ට් බලපු ගෙදර ෆෝන් එකක් තියෙන, ඒ ෆෝන් එකේ නම්බර් අනිත් අය ලඟ තියෙන හැමෝටම අත් විඳින්න වෙන දෙයක්නෙ. හවස් වෙන්න වෙන්න කෝල් ටිකක් අඩු උනා. රිසාල්ට් අමුතුවෙන් සන්තෝස වෙන්න තරම් තඩි නැති නිසත් දුක් වෙන්න තරම්ම චාටර් නැති නිසත් ෆුල් ආතල් එකේ ගෙදර තිබ්බ කෑම ජාති වලට වග කියලා අහවර වෙලා ඇලට් එකක් දාගෙන හිටියා හීනි මනෝපාරක් ගහගෙන.

"ටිං ටිං ටිං ටිං.... ටිං ටිං ටි ටී.....ං "

ගෙදර ෆෝන් එක, අනිවාර්යයෙන් කවුරුහරි ඕපදූපයක් හොයන්න තමා. ලඟපාත කවුරුත් නෑ, ෆෝන් එක උස්සන්න වෙන්න මටම තමා.. ශැහ්..

"හෙලෝ"

එහා පැත්ත නිෂ්ශබ්දයි.....

"හෙලෝ.....ව්."

ගොලුවෙක්ද මන්දා, ඒත් සන්ටෙල් ෆෝන් වල කොයිද වීඩියෝ කෝල්? :D

නම්බරෙත් නොදන්න නිසා එහේ ප්‍රශ්ණයක් වෙන්නැති කියල මම ෆෝන් එක තිබ්බ.

"ටිං ටිං ටිං ටිං.... ටිං ටිං ටි ටී.....ං "

පරණ නම්බර් එකමයි

"හෙලෝව්...."

"හෙලෝව් G**** ඉන්නවද?" හීන් හඬක් කොහේදි හරි අහල තියෙනවා මතකයි, ඒත් ඉතින් කී දෙනෙක් කියලද, අර සීසර් හමුදාවෙ නම් මතක තියාගත්තට අපිට බැහැනෙව ඒව කරන්න.

"ඔව් එයා තමයි, ඔයා කවුද?"

පොඩි විරාමයකට පස්සෙ.

"මම S***** . . "

"ම්ම්ම් මතකයක් නෑනෙ, අපි අඳුනනවද?" (කියන්න බෑනෙ, පරණ ලෙඩ වාට්ටුවක්ද කියල)

"රනිල් කියන්නෙ මගෙ අයිය"

මළලසේකරයි....... අර ලස්සන පුංචි ගෑස් බෝම්බෙ මට කෝල් කරනව, නම්බර් එක ලැබුනෙ කොහොමද, කථාකරන්න හිතුනෙ ඇයි අනං මනං ප්‍රශ්ණ කෝටියක් හිතට ආවත්.

"ඉතින්"

"ඉතින් නෙමෙයි, Congratulations !.."

හුටා.. ඒ කියන්නෙ මේකි කථා කරන්නෙ අභාග ප්‍රථිපලේ ගැන. යන්තම් ටිකිරි මොලේට තේරුනා මෙයා ගෑස් දැම්මට ඇලට් එකේ ඉඳල තියෙන්නෙ කියල.

"හ්ම්. කොහොමද දැනගත්තෙ?"

"ඒවා වැඩක් නෑනෙ, පාටියක් ඕනෙ..." දැන් නම් හීනි ලැජ්ජා හඬ වෙනුවට අර පුරුදු කිචිබිචි සද්දෙ.

කොහොම උනත් කෙල්ලෙක්නෙ කථාකරන්නෙ, මොලේ අපහාස/මල් කොටස ස්ටාට් උනා රැල් බුරුල් ඇරගෙනම.

"පාංවාටි තමා දෙන්න වෙන්නෙ. ඒක නෙමේ ප්‍රශ්ණයක් අහන්නද?"

"මොකක්ද?"

"ඔයාලට මාර ටෙලිෆෝන් බිලක් එනව ඇතිනෙ?"

"ඒ කිව්වෙ?"

"ඇයි දැන් ඔයා දකින හැම කොල්ලෙක්ටම කෝල් කරලා විශ් කරනවනෙ"

"අනේ යන්න... මට කෝල් කරන්න වෙන කොල්ලො නෑ.." එක්ස්ප්‍රස් එකේ කියාගෙන ගියා එදා ඩෙස් පෙරලපු දවසෙ වගේම.

අබ සරණයි.... එහා පැත්තෙන් සද්දයක් නෑ, කටින් පිටවෙච්ච වචනෙ ආපහු අදින්නයැ? මට මැරෙන හිනා ඒක කටින් පිටවෙච්චි විදියට

විනාඩියක් විතර ඉන්න ඇති.

"ඉන්නවද?"

"හ්ම්?"

ස්වරය අවුල්. ෆෝන් එක තියන්නද මන්දා.. දැන්නෙ මතක් උනේ මෙයත් අපේ වයසෙ කියල. අපිත් දැනගන්න එපාය කෝල් කරන මිනිස්සුංගෙ රිසාල්ට්ස්.

"කොහොමද ඔයාගෙ"

"වරදක් නැහැ"

වරදක් නෑ කිව්වෙ පෙරේත පාදෙන් යන්තමට පාස් ඇත්තෙ, ඒ දැකපු දාංගලේ හැටියට විභාගයක් ලියන එක නෙමේ වාඩි වෙලා ඉන්න එකත් ලොකු දෙයක්. පව් ඉතින්. කොච්චර උනත් ලස්සන කෙල්ල. පොඩි දුකක් වගේ නාවමත් නෙමේ.

"වරදක් නෑ කිව්වෙ කියන්න බැරිම වගේද?"

"එහෙමම නෑ අනේ"

"කියනවාකො අයිසෙ, මොකද ඔච්චර ගණන්" (දැන් නම් මටත් මළ, ඇයි යකෝ ඇලට් එකත් වැය කරලා ෆෝන් එකේ එල්ලිලා ඉන්නෙ, ෆෝන් එකේ සද්දෙත් එලියට ඇහෙනව, අම්මට එහෙම ඇහුනොත් හින්ට් ලෝකයයි.

"A8යි B1යි"

හුටා.......

බීප් ... බීප් .... බීප් .... බීප් .... බීප් (එහාපැත්තෙන් කට් කරලා)

4 comments:

  1. අප්පට සිරි :-D නම්බරේ අයියාගෙන්ද උස්සලා තියෙන්නෙ ?

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. කතාව නම් මචන් නියමයි. ඒ නoගිව දැo උබේ වයිෆ්ද ?

    ReplyDelete
  4. බොක්ක කූල් වෙනව බොලව්

    ReplyDelete