Thursday, March 3, 2011

තමුසෙ මාව මරල උනත් සොරි කියයි . . . [අපේ මංගල සටන 2]






එච්චරම වැඩේ ලීක් උනේ නෑ කියල හිත හදාගෙන ගෙදර ආවට හවස ආපු කෝල්/මැසේජ් ටික වැඩේ 7 ප්‍රවෘති වල දාලා වගේ ගාල්ල පුරා පැතිරිලා බව තේරුනේ.

දැන් ඉතින් මොනව කරන්නද. ගියා ටේලර් සාප්පුවට කැපුවා මාස දෙක තුනක් සාරෙට වැවිලා තිබ්බ වගාව. දැන් අහම්බෙන් දැක්ක එකෙක් නම් ශේප්, අඳුනගන්න බැරි තරමට මනුස්ස පාටයි. ඒත් මේ හැමදාම දකින උන්ට..

"අඩෝ මචං... "

"ඒ දැක්ක කල්. යමං කඩේ පැත්තට.."

"කඩේ නෙමේ.. තොට කෙල්ලො සෙට් එකක් දමාගෙන ගැහුව කියන්නෙ ඇත්තද බං? "

"පිස්සුද $#$#@$"

ඔන්න ඔහොමයි සතියක් දෙකක් යනකන්, අනේ ඉතින් වෙච්චිදේට මක්කොරන්නද?

පහුවදා ප්‍රහාරක අංශෙන් කෝල් එකක් තිබුනා. මම ආයෙ මොකට ගන්නවද තරහ කාරයො නෙව දැන්. ඇත්තටම ඒකි ඒ දවස් ටිකේ අහු උනා නම් . . . . .

මැසේජ් දෙක තුනකුත් තිබුනද කොහෙද, මං නං කරයි රිප්ලයි.. හුහ්

ඔන්න ඔය අතරෙ තමයි අපේ ඔන්ලයින් හැලුප් කාරයාගෙ සාම විනිසුරු භූමිකාව එලියට එන්නෙ. කලින් දවසක මගෙ දුක (වෙන මොකක් වත් නෙමේ ගුටි කාපු එක) ඌටත් එයාගෙ දුක දවස් දෙක තුනකුත් කියලා තිබ්බ නිසා ගෲප් චැට් එකක් දාලා විසඳන්න හැදුවත් ම්හු එහෙම පුළුවනෑ අමතක කරන්න. (ඇත්තටම දවසක් දෙකක් යනකම් කම්මුලේ අනිත් පැත්ත රිදුනා. හොම්බ රිවට් වෙන්න ගහනවා කියන්නෙ මේවට වෙන්නැති නේද?)

පස්සෙ සඳුද දවසක්. කවුරු නැති උනත් අපි ක්ලාස් එකට යන්න එපැයි. තිබ්බ තරහටම එනකම් බලාගෙන ඉන්නෙ නැතුව බස් එකට ගොඩ උනා. ඒත් සාමාන්‍යෙන් එන වෙලාවම වෙන්න ඇති බස් එකක් ආවෙ නැතුව ඉන්න උන නිසා. ඉතුරු වෙලා තිබ්බෙ තනි ශීට්ස් විතරයි. ශීට්ස් 3යි 2 බස් එකක්. මම වාඩි උනා ඉස්සරහ ශීට් එකේ. මෙන්න අපේ තරහකාරිත් දුවගෙන වගේ ඇවිත් මට ඉස්සරහ ඉතුරුවෙලා තිබ්බ ශීට් එකේ වාඩි උනා.

තඹේකටවත් ගණන් ගන්නෙ මොකටද. දැන් තරහකාරයො නෙව.

මෙයා හෙමින් පස්ස බලනව. බස් එකේ නිසා එකපාරට හැරෙන්නත් බෑ. (ලැජ්ජබය තියෙනවා සාමානය වෙලාවට ;) ) මට පැත්තට පේනවා පොත් ටික මිරික මිරික දෙන වදයක්. මට මොකෝ ඉතින්. උණවටුන පාස් වෙනකොට කඩාගෙන එනව ටිකට් දැන් පොඩි කේස් එකක්. වෙනදා මමනෙ ටිකට් ගන්නෙ. අද මොකද වෙන්නෙ බලමු

'මාතර දෙකයි'

'කවුද දෙන්නා'

ඇඟිල්ලෙන් පෙන්නනව මාව.

'මිස් ඩබල් ශීට් තියෙනව පස්සෙ' (සෙමි ලක්ශරිනෙ ;) )

'කමක් නෑ'

හ්ම්, කන්න දීලා ගහන ජාතියෙ. කමක් නෑ 72ක් නෙ ;)

අවාසනාවට අහංගමදි මගෙ එහා පැත්තෙ ගිහිපු කෙනා බැහැල ගියා, බස් එක යන්න පටං ගත්තට පස්සෙ. කෙල්ල ටිකක් හැරි හැරි ඉඳල එකපාරටම කඩාගෙන බිඳගෙන බලෙන් වගේ ඇවිත් මගෙ ජනේලෙපැත්තෙ ශීට් එකේ වාඩි උනා. ආපු වේගෙට වටේ මිනිස්සුත් බලනව මොකද උනෙ කියල. :)

වැලිගමට කිට්ටුයි. . .

"අයියෙ . . . . ."

මෙන්න යකෝ තරහ කාරයො කථාකරනවා? :o :o :o ඒත් මං මොකටද කථාකරන්නෙ

"මේ . . . . " දැන් මගෙ අතෙනුත් යන්තම් අදිනව

ම්හු, වචන නාස්ති කරල වැඩක් නෑනෙ. හරියන්නෙ නැති තැන එයාගෙ සුපුරුදු ලාස්ට් ට්‍රයි එක. මගෙ වැලමිටට උඩින් අත බදාගෙන මගෙ උරහිස ගාව එයාගෙ ඔලුව තියාගත්ත.

"අනේ සොරි . . . . . "

දැන් නම් මට උනත් කට පියාගෙන ඉන්න බෑ,

"තමුසෙ මාව මරල උනත් සොරි කියයි"

කියන ගමන් එයාගෙ මූණ දිහා බැලුන, පව් ඇස් දෙකේ කඳුලු.

"මරන්නම තමයි වටින්නෙ. . . . "

"මේ දැන් ඇති, පැත්තකට වෙනව. . . " එයාගෙ අත අරගෙන එයාගෙම ඔඩොක්කුවෙ තියල අහක බලාගත්ත. වැඩි වෙලා තව රන්ඩු කරන්න උනේ නැ මම බහින තැන ලඟයි.

"හවසට එනව නේද?"

"බෑ..."

මම බස් එකෙන් බැහැල ක්ලාස් ගියා. වෙනද වගේම ක්ලාස් එක ඉවර වෙලා බස් එකට එනකොට මෙන්න මෙයා කවදාවත් නැතුව කලින් ඇවිල්ලා බස් එක ලඟට. කථාවක් නැතුවම පස්සෙම වම් පැත්තෙ (මුහුද පැත්තෙ) ශීට් එකේ වාඩි උනා.

දැන් බස් එක පිටත් වෙලා. (ඒපාර නම් ටිකට් ගන්න උනේ මට, ඔන්න ඕකනෙ මුං එක්ක යාළු වෙලත් බෑ, තරහ වෙලත් බෑ)

වැලිගම කිට්ටුවට එනකම්ම දෙන්නම කථාවක් නෑ. ඒත් එයා යන්තම් මගෙ ඇඟිලි ගෑවෙන නොගෑවෙන තරමින් අත තියාගෙන සෙල්ලම් කරනව.

එකසැරේම මූනෙ එදා ගහපු තැන හරියෙන් ලපටි තොල් දෙකකින් දැනෙන යන්තම් උණුසුම් සීතලක්..... කරපු දේට ලැජ්ජ හිතිල මූණ රතු කරගෙන බිම බලාගෙන.
ඔය කිස් වලට අපි රැවටෙයි :P

"මොකෝ එපාර ගහන්න කලින් ඉඹල බලනවද?"

"හ්ම් . . . . . ගඳද කියල බැලුවෙ අත හෝදගන්න"

"හෝදගන්නව ගිහින් තමුසෙගෙ ##%$#@%@" (නෑ කාටවත් ඇහුනෙ නෑ මම හිතන්නෙ,) එයාට ඇහුනට තව ටිකක් රතු උනා මිසක් ඇහිච්ච විත්තියක් පෙන්නුවෙ නෑ.

"ඔයා මාත් එක්ක තරහ නෑ නේද එහෙනම්? . . . . ."

එහෙනං අර පගාවක්?

"යාළුවෙලා හිටයය? "

"අනේ. . . ප්ලීස් කියන්න තරහ නෑ කියල . . . . "

"තරහ නෙමේ තමුසෙ එදා ඉතුරු කරන්නෙ නෑ අහු උනා නම් අතට."

"ඉතින් අහු උනේ නෑනෙ . . . . " (යන්තම් හිනා)

"කෝක උනත් අර නංගි තමුසෙට වඩා ලස්සනයි ඕයි . . . . "

(ඒ පාරනම් යකා ඇත්තටම නැග්ගාද කොහෙද ;) )

"අනේ යනව යන්න. . . . . . ."
========================================================================


මාස දෙකකට පමණ පසු

ස්ථානය - ගාල්ල බස් නැවතුම, පෙර ස්ථානයට ආසන්නව

දිනය - මතක නෑ

අවස්ථාව - යන්තම් අතකින් අල්ලගෙන මගෙ පුංචි කෙල්ලව ඇදගෙන යන ගමන් එදා ගුටිකෑ දවසෙ සිහියෙන් හිටපු කොල්ලෙක් හමුවීම.


"ඒයි ඩෝ ..... !"

"අඩේ මචා....ං "

"දැකපු කල් බං. උසගිහින් පළළ අඩු වෙලා.. කෑල්ලකුත් එල්ලං එළකරි ඈහ්.... "

(පුංචි එකී ටිකක් ඈතින් හිටියත් ඒක ඇහිල බිම බලාගත්ත..)

"අඩෝ මේ අර අර අර......"

"ඔව් බං ඒකි තමයි ." ;)

"බුදුසරණයි බං උඹට!"

========================================================================
ඊට පස්සෙ අපි දෙන්නගෙම ඉවසීමේ හොඳකම නිසා ඊලඟ අවුරුදු එකහමාර විතර ඇතුලත අනන්තවත් බැන ගැනිලි, රණ්ඩු, කම්මුල් පාරවල් හුවමාරු වෙන්න ඇති (වැඩියෙන්ම කෑවෙ දෙන්නගෙන් කවුද කියල නම් සුවර් නැත(හැබැයි මගෙ අතට එයාගෙ මුළු මූණෙන් බාගයක්ම අහු වෙන අතරෙ එයාගෙ අත් දෙකටම මගෙ මූනෙන් අහුවෙන්නෙකොටසයි නිසා වැඩිපුරම රිදෙන්නෙ නම් මට). ඒත් ආයෙ අරම රෙදිගැලවිල්ලක් නම් උනේ නෑ ;).

Wednesday, March 2, 2011

අපේ මංගල සටන [1 කොටස]






හැමදාම කිරියි පැණියි වගේ ඉඳලත් බෑනෙ, මේ අපේ මිලියනගාණක් වන වලි අතරින් පළවෙනි ෆස්ට් එක.

දිනය - මතක නෑ මාර්තු විය යුතුයි. මුණේගෙ ක්ලාස් තියෙන දවසක් ;)

ස්ථානය - දකුණු ආසියාවේ දිගම බස් ස්ටෑන්ඩ් එකේ, අම්බලංගොඩ - හික්කඩුව බස් ගහන තැන

අවස්ථාව -

කෙලින්ම කථාවට බහිමු දන්නවනෙ ඉතින් කාලා බීලා ෆන් 'එකක' ඉන්න කොල්ලො සෙට් එකකට තනියම ඉන්න ලස්සන කෙලිපොඩ්ඩක් අහු උනාම. ස්ටෑන්ඩ් එක මැද්දෙ නම් තවත් බයානකයි. අන්තිමට කෙල්ලට යන්න වෙන්නෙ රෙදි නැතුව වගේ තමා. බොහෝ දුරට ඕවා අවසන් වෙන්නෙ ක්‍රම තුනකින්. එකක් ඒකිගෙ හෝ අපේ බස් එකක් එනවා. දෙක කෙල්ල අඬාගෙන දුවනවා. තුන කෙල්ලගෙ කවුරුහරි සෙට් වෙලා අපි අම්බානකම කනවා (පළවෙනි දෙකෙන් එකක් සමඟ තුන්වෙනි එක බෝනස් ලැබෙන වෙලාවලුත් එනවා නොවැ) ලොකු කමකට කියනවා නෙමේ. ඒත් ඉතින් නේද .....

එදා මං හිටියෙ නිතර ඉන්න සෙට් එක එක්ක නොවුනත් ටිකක් දන්න අඳුනන උං ටිකක් එක්ක. උන්ට මොකක්ද වාසියක් වෙලා කුණුවෙන්න ගහලා හිටියෙ. මම නම් ඉතින් වෙන වැඩ තිබ්බ නිසා රන්පත්‍රයකට වඩා ගිහින් තිබුනෙ නැද්ද මන්දා.

ඒකිගෙ හෝ මගේ අවාසනාවට මෙන්න හික්කඩුව ස්ටෑන්ඩ් එකේ ඉන්නවා ලස්සන කෙලි පොඩ්ඩක්. කෙලි පොඩ්ඩක් කිව්වට ඒකි ටිකක් අර 'ඇරගෙන ඇඳං ඇවිත් වහගෙන යන' ජාතියෙ එකියක්. ඉතින් අපේ සදාචාරෙ රකින උන්දැලා ගත්තෙ නැද්ද නීතිය අතට..

සුළු වදන් අවි ප්‍රහාර වලින් පටං ගත්ත කියවිල්ල ටික වෙලාවකින් මහාපරිමාණෙන් කෙරීගෙන යනවා. කෙල්ලට දැන් පොලොව පලාගෙන යන්න ඕනෙ තත්වෙ හැටියට. හැම අංගයක්ම ලස්සනට විස්තර වෙන හින්දා රෙදි නෑ වගේ ස්ටෑන්ඩ් එක මැද්දෙ. ඒකිට යන්නත් බෑ කොහෙවත්, මොකද ගිය ගිය පාර අපෙ උනුත් පස්සෙන් ගියා. දැන් ස්ටෑන්ඩ් එකේ මිනිස්සුත් බලනවා, බස්වල එහෙම ඉන්න කොල්ලන්ටත් සිරාම ආතල්. ඒකි අඬන්න ඔන්න මෙන්න. තව පොඩ්ඩායි.......

චටාස්. . . .

මූණෙ වම්පැත්තෙ යට හරියට කවුරුහරි ටෙනිස් බෝලෙකින් ගැහුවා වගේ... මුලින් හිරි වැටිල පස්සෙ රත්වේගෙන ගියා..... සෙට් එකම හොල්මන් .... මම එකපාරට පාර ආපු දිහා බැලුවෙ ආපහු කෙලලා අරින්න බලාගෙම.

වට පිට බැලුවා කවුරුත් නෑ, පහල බැලුවා ... නැවතුනේ රතුපාට තරහෙන් පුපුරණ ඇස් දෙකක් ගාව . දැකල පුරුදුයි වගේ....

මළා . . . .

ගහන්න මිට මොලවගත්ත අත තාම එහෙම්මම. පොත් ටිකත් තුරුලු කරගෙන. එවෙලෙ පෙනුන තරහෙ හැටියට නම් පිහියක් කඩුවක් වගේ තිබ්බනම් මට දඩල්ලෙ යන්න තිබ්බා. තත්පර කීපයක් බලාගෙන ඉන්නකොට තමයි එයාට ඉන්න තැන මතක් උනේ... ඒත් ඉතින් ගහපු එක ආපහු ගන්නයැ.

"තමුසෙ මේ හරක් එක්කද ඉන්නෙ?" මූණ දිහා පුපුරන බැල්මෙන්ම බලාගෙන කිව්ව. තත්පරයක් දෙකක් එහෙම ඉන්න ඇති..

'ම. . .ම මේ...."

"කථා....කරන්න එපා....." කියල එයා වේගෙන් ඇවිදගෙන ගිහින් අපේ ප්‍රහාරයට ලක්වෙච්ච කෙල්ල අතින් ඇදගෙන ස්ටේශන් එක පැත්තට ආපු වේගෙන්ම ගියා. ස්ටෑන්ඩ් එක ඉවරවෙන තැනදි ආපහු හැරිල පිච්චිල යන බැල්මක් දාන්නත් අමතක කලේ නෑ..

වෙරි වෙලා හිටියත් එකෙක්ට හරි කට හොල්ලගන්න පුළුවං උනේ දැන්.

"ඒ ක ක කවුද බං අර...."

මම ඉතින් මොනවා කියන්න කියලද, අලවංගුවක්වත් තිබ්බනං හාරගෙන යන්න තිබුනා කොන්ක්‍රීට් එක.




"කවුද බං දන්නෙ?......."

Friday, February 25, 2011

අපේ පන්ති යෑම සහ බස් ගමන්. . . . . .





කොහොමින් කොහොමින් හරි දැන් අපි දෙන්නට දෙන්න දකින්නෙ නැතුව ඉන්න අමාරුයි, මම මොකක්හරි වැඩක් දාගත්තත් එයා කොහොමහරි මගෙන් වෙලාවක් හදාගන්නව.

ඕනෙ වැඩක සැලසුමක් ඇතිව කෙරෙන්න එපැයි, විශේෂයෙන්ම AL විබාගෙ එනකොට. අපි දෙන්නටම තිබුනෙ එක පොදු විශයක් විතරයි, ඉතින් ඒකෙන් උපරිම ප්‍රයෝජනය ගන්න එපාය. ඉතින් එයත් මං යන ක්ලාස් එකටම එන්න ගත්ත. ඒ වෙනකොට එයා මුල ඉඳලම පන්ති ගිහින් විධිමත් විදියට කරගෙන තිබුන නිසාත්. මම මුල ඉඳලාම වැඩේ අවුල් කරගත්ත නිසත්, ගණන් හැදිලි, මිස් වෙන නෝට් ලිවිලි ආදී දහසකුත් එකක් දේවල් කරගන්න වෙලාව එපාය? (නැතුව මේ ...... නෙමෙයි) , හැබැයි එයා ආපු එකෙන් ක්ලාස් එකේදි මට පිස්සු කෙලින්න තියෙන චාන්ස් එක නැති උනා කියල කට්ටිය හිතුවත්, වැඩිපුරම උනේ ඒක වැඩිවෙච්ච එක ;). එයා ඉස්සරහ පේලියෙ මම එයාට පිටිපස්සෙ පේලියෙ, අහන්න එපා උනේ මොනවද කියල.
ඉහල තියෙන්නෙ පින්තූරෙ සමහර වෙලාවට ඇත්තටම වෙලා තියෙනව. ඒත් ක්ලාස් එකේ මිස් ඉස්සරහ වත් එයා මගේ කියන එක හංගන්න හැදුවෙ නෑ. පටං ගත්ත දවස් වල එහෙම හිටියට කමක් නෑ දෙකම හරියට කරගන්න කියල අවවාදෙ ලැබුනට පස්සෙ. එයා හරි විවෘතව හිටිය, ක්ලාස් එකේ මම ඇණගන්න වෙලාවට එයා හද හද හිටපු ගාණත් දාලා මට උදව් කරන්න පිටිපස්සෙ හැරෙන එක නතර උනේ ටික කලක් ගිහින් එයා මං එක්කම වාඩි වෙන්න ගත්තට පස්සෙ. මිස් හින්ට් දෙකතුනක් පාස් කලාට එච්චර ගණන් ගත්තෙ නෑ (එයත් ආදරය කරල බැඳපු කෙනෙක්නෙ, අනික තාම තරුණයි), අනික එතන අපි වැඩටික හරියට කලානෙ, කියන්න ඕනෙ නෑ අපිට ලැබුනේ ලේසියෙන් ලැබෙන්නෙ නැති අවස්ථාවක්. ඒත් අවාසනාවට මට කට් වෙන්නෙම ඒ ක්ලාස් එක. ක්ලාස් එකේ අනිත් කෙල්ලො දෙන්නට නම් ඒව දිරෙව්වෙ නෑ, හේතුව ඉතින් කියන්න ඕනෙ නෑනෙ අමුතුවෙන්.

අපි දෙන්නට හම්බවෙන වෙලාව තවත් පැය 2කින් වැඩිවුනේ බොහොම අහමබෙන්. දවසක් එයාලගෙ ගෙදරට මහගෙදර කට්ටියක් ඇවිත්. ඒ කෙනෙක් මාතර ප්‍රසිද්ධ කෙමිස්ට්‍රි ගුරුවරයෙක්. කතාබහ කරනකොට කැමති වෙලා මාතරට එන්න හැකිනම් ඉන්ඩිවිජුවල් ක්ලාස් එකක් කරන්න. මම ඒ දවස්වල බෙල්ලවැලදාගැනීමේ විශයකට හැම සඳුදම මාතර යනව. ඉතින් අපේ එක්කෙනා ටිකිරි මොලේටත් තේරිලා ඔෆර් එක පිළිගත්තොත් වැඩ දෙකම වෙනව කියල. පස්සෙන්දම එයාගෙ 'ගැන්සියට' (;)) කථාකරල උනුත් ඇදගෙන සඳුද මගේ ක්ලාස් එක තියෙන වෙලාවට ලස්සනට ක්ලාස් එකක් දාගෙන තිබුන.

දැන් ඉතින් හැම සඳුදම ඉස්කෝලෙ ඇරිලා බස් එකට නැග්ගාම (කොලඹ මාතර තමා, ඉක්මනට ගියාට සැපවැඩිනෙ ;) (ඉක්මනට ගියාට කිව්වෙ, ඒ දවස්වල මොන ඩ්‍රයිවර් උනත් යනවා ස්පීඩ් වැඩි නිසා ;) ) පැයක් මගෙ පුංචි කෙල්ල එක්ක ගත කරන්න වෙලාව ලැබෙනව, මුලදි ඉස්කෝලෙ ඇඳුමෙන්ම ආවත් ඒක ටිකක් ගැලපෙන්නෙ නෑ වගේ දැනුන නිසා එයා එයාගෙ ඉස්කෝලෙ ලඟ යාළුවෙක්ගෙ ගෙදර ගිහින් සාමාන්‍ය ඇඳුමක් දාගෙන එනව. මම ඉතින් කෝමත් එදාට ඉස්කෝලෙ ගියෙ නෑනෙ.

හවසට එන ගමන තමයි නියම, පැයක් විතර කට්ට කාලා එයාව එක්කරගෙන බස් එකට නගිනකොට ටිකක් කරුවලත් වැටිලා, වැලිගම පහුවෙනකොට නියම ගාන. ඉතින් අපි අපේ ලෝකෙක. මිනිස්සු මොක කිව්වත් අපිට මොකද අනික හොයාගන්නෙත් ටිකක් උස ශීට් තියන තැනක්. දන්නවනෙ දුරගමන් බස් වල පස්සෙ දකුණු ශීට් එක ගැන? :) (ඉන්ටසිටි නම් නෙමේ) ඊට පස්සෙ එයාව ගෙදරට දානකොට කොහොමත් රෑ 8 විතර වෙලා. ඒකාලෙ තියා පස්සෙවත් ගෙදරින් එච්චර ඒගැන තැකීමක් කලේ නෑ. හේතුව පසුවට තේරේවි. කොහොමත් කෙල්ලො රැලක් එක්ක යන එනකොට එච්චර සැකයක් හිතන්නෙ නෑනෙ.

මේ බස් ගමන් වලදි තමා නියම මිනිස්සු ටිකක් හම්බු උනේ. අක්කලා, අයියලා, අක්කලා එක්ක යන අයියලා, අයියලා දාලා ගිහිපු අක්කලා වගේම, ඇන්ටිලා එක්ක මතකයන් අළුත් කරන අන්කල්ලා හිටින් මුණ ගැහුනා. මට එච්චර නැතත්, මගෙ පුංචි කෙල්ලට නම් තියෙනවා කාටහරි වචනයක් දෙකක් කථාකරල යාළුකරගන්න මාරම හැකියාවක්. ඒක නිසා අන්තිම දවස් වල මට කෝල් එකක් දීලා එනවද කියල අහල අපේ ආසනේ බුක් කරල තියාගන්නත්, මොනවහරි දෙයක් අරගෙන ඇවිත් අතේ තියන්නත් තරම් සමහරු මිත්‍ර උනා. සමහර කොන්දොස්තර අයියලා පවා. ඒ වෙලාවට වැදෙන්නෙ සෙමිලක්ශරි උනත් අපිට ඒ වැඩිවෙන මුදල දෙන්න වෙලා තියෙන්නෙ බොහොම කලාතුරකින්. බොහෝ විට නෝමල් ටිකට් එක කඩනව. නැත්තම් කවුරුහරි අපි වෙනුවෙන් ටිකට් ගන්නව. අපිට අර බ්ලොග් ගඩොල් ලට උනා වගේ කරදර නම් වෙලා නැහැ. වටේ හිටපු අය හොඳ නිසා වෙන්න ඇති. ඒ හම්බ වෙච්ච හැමෝටම බොහෝම පින්!

ඒ සතියට දවසයි නෙ. කොහොමද ඉතුරු දවස්ටික ගෙවාගන්නෙ?

ඔය වෙලාවට තමා දෙන්නටම 'අළුත්' ක්ලාස් වැටෙන්නෙ. එයාට ඉරිදා 'අළුත් බයෝ' ක්ලාස් එකකුත්, මට 'අළුත් පියෝ' ක්ලාස් එකකුත් වැටුන නිසා දවල් දවසම අපිට 'ඉගෙන ගන්න' වෙලාව තිබුන. විහිළුවට එහෙම කිව්වත් ඇත්තටම සමහර දවස්වලට මට බැරි පාඩම් එයා කියල දෙන එක තමයි සිද්ද උනේ. (OL කාලෙ ස්වේච්චා ගුරුකමකුත් කරලා තිබ්බ නිසා උගන්නන්න නම් පුළුවන්, පොඩි මෝටිවේශන් ෆැක්ටර් එකකුත් තියෙනවනෙ ;) )

බ්‍රහස්පතින්දත් එහෙම අළුත් 'රිවිශන්' ක්ලාස් එකක් වැටුන, එදාට නම් ඇත්තටම කලේ කොහෙ හරි රවුමක් ගහන එක.

සමහරෙක් කියන්න පුළුවත් අපි කාලෙ නාස්ති කලා කියල, ඒත් මම කවදාවත් එහෙම හිතන්නෙ නෑ, ඒ ගත වෙච්ච හැම තත්පරයක්ම මතකයෙ තියෙනව මකන්න බැරි විදියටම.

මම ඒකාලෙට තාම ආදරෙයි.....

Thursday, February 24, 2011

ඉස්සරහට කථාව....

හිතේ අවුලට ලියන්න පටං ගත්තට, ලැබෙන ප්‍රතිචාර නිසා මේ මිනි සීරීස් එක මෙගා සීරීස් එකක් කරන්න අදහසක් ආවා.

කලින් පෝස්ට් එකෙන්, අපි දෙන්නා හම්බ වුන හැටි කතන්දරය ඉවරයි, ඊට පස්සෙ ඉස්සරහ පෝස්ට් වලින් අපි අතරෙ සිද්ධ වෙච්ච එක එක දේවල්, මේක සමහර විට ගොඩක් අයට කම්මැලි වෙන්න පුළුවන්. ඒ හින්දයි මෙහෙම පෝස්ට් එකකින් කිව්වෙ ඉස්සරහට වෙන දේ.

ආයෙත් කථාවෙ ගලායෑමට එන්න ටික දවසක් යයි. ඒකෙදි අපිට උන 'හොඳම' වැඩෙත් එක්ක වර්ථමාන තත්වෙට සමාන්තර වෙනව...

දිගටම ප්‍රතිචාර ලැබේ කියල...

ස්තූතියි

Wednesday, February 23, 2011

අපේ ප්‍රථම වැලන්ටයින් තෑග්ග......


එදා පැය 3ක් 4ක් අපි එහෙම ඉන්න ඇති, ටිකක් හැන්දෑ උනාට පස්සෙ රේල් පාර දිගේ එයාලගෙ ගෙවල් ලඟට යන්න තියෙන කිලෝමීටර් 5 ඇවිදගෙන ගියා. යන්තම් අතකින් අල්ලගෙන රෑ වෙන වෙලාවෙ රේල්පාර දිගේ යන එකේ ෆන් එක දන්නෙ එහෙම ගියපු අයම තමයි. කථාකරපු වැඩක් ඇති දෙයක් නම් නෑ, එක එක විකාර කියෙව්වා මිසක.

එයාගෙ ගෙදර ලඟට ගිහින් ඇරලලා ආපහු එන අතරෙත් ෆෝන් එකෙන් කථාව, කොහොම හරි ආයෙ මම ගාල්ලට එනකොට (පයින් තමා සල්ලි වැඩි වෙලාය?) 8.30ත් පැනල. වෙලාවට බැටරි ඩෙඩ් උනා, නැත්තම් මට ගෙදර යන්න වෙන්නෙත් කථාකර කර.

මං කලින් කථාවෙදිත් කිව්වනෙ මට කල්පනා කරන්න මතක් වෙන්නෙ බස් එකට නැග්ගමය කියල. ඔන්න ගෙදර යන බස් එකේදි දවසෙ ඔක්කොම මතක් උනා. කථාකරපු දේවල්, කරපු දේවල් හැම දේම.

එහෙනම් බයිටක් නෙමෙයි, පළවෙනි එක්සෑම් එකෙන් එයා පාස්. ඉස්සෙල්ල මම එයාව සීරියස් නොගත්තට දැන් මට නිකම් හිතෙනව මටත් මෙයා නැතුව බැරි ගතියක්. හරියට ඇඟේ කොටසක් අඩුයි වගේ, දවසම කෙල්ලෙක් එක්ක ඉඳල ගෙදර ගියාම එහෙම හිතුන පළවෙනි වතාව ඒ. ගෙදර ගිහින් gtalk ලොග් උනාම ආයෙත් ටිකක් හරි ඒ ගතිය අඩු උනත්, ඇත්තට ලඟින් ඉන්න තරම් හැඟීමක් දෙන්න බෑනෙ අකුරු වලට?

ඊලඟ සතියෙනම් මට මිස් උනා එයා හම්බ වෙන එක, ඊට පස්සෙ සතියෙ බ්‍රහස්පතින්දා උදේ නැගිටිනකොටම මැසේජ් එකක් තියෙනවා අද නිවාඩුයි හවසත් ක්ලාස් නෑ, කරදරයක් නැත්තම් දකින්න ආසයි කියල. නැගිටලා කැලන්ඩරේ බැලුවම තමයි මෙයාගෙ මේ කරුණාව මොකද කියල තේරුනේ එදා පෙබරවාරි 14ර. :)

මට නම් එතකොට සිරාවට තද උනා. කොහොමත් ඒ එක දවසක් විතරක් සමරනවට මගේ ඒ හැටි කැමැත්තක් නෑ. ඒත් දැන් බැනලා වැඩක් තියෙනවය? මම එනව කියල රිප්ලයි කලානෙ? දැන් ඉතින් පලයංකො. උදේ 8ට විතර එනව කියපු තැනට ගියා. මම එනව කිව්වෙ 7ට ;) . යනකොට මෙන්න ඉන්නව කියපු විදියටම, පොඩ්ඩක් මූණ මැල වෙලා පරක්කු නිසා වෙන්න ඇති.

"මොකෝ මූණ දෙක කරගෙන...?"

"මොකුත් නෑ.... අපි යමුද?"

දැන් එක එක වල් පල් කතාකර කර ගාල්ල පැත්තට ආව. එක්කෙනෙක්වත් කථාකලේ නෑ අද දවස ගැන ;)

"අයියෙ....."

"හ්ම්...."

"මට අද ඔයාට කෑම එකක් ගේන්න බැරි උනා...." බිම බලාගෙන කිව්ව. ලොකු වැරැද්දක් කලා වගේ.

"හපෝ ඒකට මොකද?"

"ඇත්තටමද?"

"හයියෝ ඒකද මූණ දෙක කරං ඉන්නෙ. ඕක කියන්නත් දෙයක්යැ?"

"හ්ම් හ්ම්.... "

"මේ ඔයා කාලද?"

"ඒකට කමක් නෑ..."

මට තේරුනා මේකි මම 7ට එනව කියපු නිසා දුවගෙන ඇවිත් කියල ඔක්කොම දමල ගහල. පව්... එක්ක ගියා අපි හැමදාම යන චයිනාටවුන් වල අපේ පුරුදු කෑම කඩේට. අතේ මහ සල්ලියක් තිබුනෙ නෑනෙ. කෙල්ලෙක් හිටියා කියල දිව්යභෝජන දෙන්නයැ? අපි කන කෑම තමයි දෙන්න වෙන්නෙ.

"පාං කමුද?"

"හාහ්"

"පරිප්පු කමක් නෑනෙ?"

"හා හොඳයි"

"අයියෙ පාං එකයි, පරිප්පුයි ප්ලේන්ටි දෙකයි...." වේටර් අයියට කිව්ව.. අඳුනන එකා හින්ද ඌත් කිණ්ඩියට හිනාවක් දාගෙන ගෙනත් දුන්න කපාපු පානුයි පරිප්පුයි. මෙන්න වැඩක් මෙයා මගේ අත කොනිත්තනව.

"මොකෝ... කෑම හරි නැද්ද?"

"නෑ"

"එහෙනම්?"

"එක තේ එකක් ගන්න" මෙයා කොඳුරණව

ජෝක් එකක්ද කියල බලන්න මූණ බැලුව. නෑ එයා සීරියස්.

"මචං එක ප්ලේන්ටියයි."

අයියාකාරය ප්ලේන්ටි එක ගේනකොට පාං එක සුද්දයි. අද නම් කව කව ඉන්න ගියෙ නෑ කඩේ මිනිස්සු වැඩියි.

"ඇයි එකක් ගේන්න කිව්වෙ?"

"මටත් ඔයාගෙ කෝප්පෙන් බොන්න ඕනෙ..."

හුටා මාර අදහස්නෙ තියෙන්නෙ. අවුලක් නෑ උගුරක් බීල කෝප්පෙ දික් කලා මගෙ අතත් එක්කම කෝප්පෙ අල්ලල මගෙ අතේ තියෙද්දිම යන්තම් උගුරක් බිව්ව. කඩේ උන්ට සිරා ඇඩ් එක ;) වේටර් අයිය හිනාවක් දාගෙන ගියා, එහා මේසෙ හිටපු ඇන්ටි කෙනෙක් ගස්සලා අහක බලාගත්ත. එයත් එක්ක ආපු අංකල් නම් කට පුරා මනුස්ස හිනාවක් දැම්ම. පරණ කාලෙ මතක් වෙන්ඩ ඇති. එයාටත් පස්සෙයි වැඩේ තේරුනේ, කම්මුල් දෙක රතු වෙලා.

"කමක් නෑ පැටියො..." මං කිව්ව. හරිමගුලක්නෙ අපිට මොකද මොකා හිනා උනත් ;)

බිල ගෙවල එලියට ආවට පස්සෙ දෙන්නටම හිනයි. එයා මගෙ අත තවත් තද කරල අල්ලගෙන හිනා වෙනව. හරි මගෙ දෙවෙනි ටෙස්ට් එකත් හරි. පහසුවෙන් පෝශනය කරන්න පුලුවන්..

"මේ...."

"ඇයි...." ඒකි මගෙ මූණ බලනව. උරහිස ගාවට විතරක් නිසා අහස බලන විදියට මගෙ මූණ බලන්න වෙන්නෙ ;)

"ඒක තමයි මගෙ වැලන්ටයින් ගිෆ්ට් එක..."

"පරිප්පුයි පානුයිද?"

"ඔව් මොකෝ.... බඩ පිරුනනෙ?" කෙල්ල බිම බලාගෙන හිනාවෙනව. ටිකක් වෙලා ගිහින්

"ඉතින් අපි කොහෙටද යන්නෙ?" ඇහුව.

"ලයිබ්‍රි එකට" පොත් රාක්ක අතරෙ සෑහෙන්න නිදහස්නෙ, අනික කෙනෙක් අඳුන ගන්න හොඳම විදිය එයා කියවන, බලන දේවල් දැනගන්න එක. හප්පේ ගියාමයි තේරුනේ, මේකිටත් මට වගේම පිස්සු. පොත් දැක්කම මාවත් අමතකයි. අතට ගත්ත පොත් වලට හිනත් ගියා මට. මගේම ටේස්ට් එක නොවුනත් සෑහෙන්න ලඟින් යනව. යන්තම් ඇති පොත් වියදම ඉතුරුයි, එක්කෙනෙක් ගත්තාම ඇතිනෙ දැන් ;), පැයක් විතර තෝරලා තෝරලා යාන්තම් එක පොතක් තෝරගත්ත (පොත් දෙකයි පුළුවන් එදා, මම ගත යුතුම එකක් තිබුනා. එයා ලයිබ්‍රි පොත් අරගෙන ඇවිත් තිබුනෙ නැහැ.) ඒ අරගෙන ආපහු පල්ලම් බැස්ස.

"දැන්..."

"කොහාටද යන්න ඕනෙ...?"

"නිදහස් තැනකට මොකක් හරි...."

අද නම් පාක්, කොටුව කිට්ටු කරන්න බෑ.... තේරුමකුත් නෑනෙ නිකම් ඉල්ලගෙන කන්න.

"යමුද ඉඳුරුවෙ"

"ඉඳුරුවෙ? අළුත්ගම ලඟ නේද?"

"ඔව් යමුකො....."

ඉඳුරුවෙ අය දන්නව ඇති ඒකෙ ඇතුල්පාරක ගියාම තියෙන ටිකක් ලොකු පන්සල ගැන. මම ඒහරියෙ කලින් වැඩකරපු නිසා ටිකක් දන්නව පළාත. බස් එකේ ගිහින් ඉඳුරුවෙ බැහැලා පයින්ම පන්සලට එක්ක ගියා. සෑහෙන්න දුරක්. ඒත් එයා වචනෙකින්වත් අමාරුවක් පෙන්නුවෙ නෑ.

පන්සල සෑහෙන්න නිදහස්, එයා වැඳල එනකම් මම හිටිය (මම ඉතින් ;) ) ඊටපස්සෙ පන්සල ඉස්සරහ ගලක් උඩ සෑහෙන්න වෙලාවක් ඉන්න ඇති. එහෙම ඉඳල ආපහු එන ගමන් බීච් එකටත් ගොඩ වෙලා එතනත් ඉඳලා ගෙදර එන්න පිටත් උනා. මුළු කාලෙම එයා මගේ ඇඟේ කොහේ හරි අල්ලගෙන. හරියට මාව හුලඟට ගහගෙන යයි කියල බයේ වගේ. කථා කරන්න කරන්න මෙයා ගැන මගෙ හිතේ තිබ්බ අවුල නැති වෙලා ගියා. දැන් මට සිරාවට හිතෙනව මගේ other half එක හම්බ උනා කියල.

අපි දෙන්න ආයෙ ගාල්ලට එනකොට ටිකක් හවස් වෙලා. හැන්දැවෙ.. ආයෙත් ගෙදරට යන රේල් පාර දිගේ... ඒ මගක් හරියට යනකොට මාතර-කොලඹ රේල් පාරවල් වෙන් වෙලා යන හරියෙ තිබ්බා ලවර්ස් ලේන් කියල පටු පාරක්. දැන් නම් වහලා දාලා. ඒකාලෙ පාක් එකෙන් එලවනකොට කට්ටිය එන තැන මේක, එතන හිස් අද,පොලිසියෙන් සුද්ද කරලද දන්නෙ නෑ. මම ඒක එයාට පෙන්නුවම මෙන්න මේකි කියපි බලන්න ඕනෙය කියල ගිහින්.

ටිකක් එතනින් ඇතුළු උනාම අඳුරුයි. මෙයා තවත් මගෙ අත උර හිසට ලගින්ම වගේ අල්ල ගත්ත. මම හෙමිහිට එයාව ඉස්සරහට හරවගෙන අත් දෙකෙන් අල්ලගත්ත.

"සුදූ.... බය උනාද?"

"නෑ....... මෙතන ටිකක් අඳුරුයිනෙ...."

"හ්ම්......"

මම දැන් එයාගෙ ඇස් දිහා බලාගෙන. ඒ අහිංසක ඇස් මොකක්හරි ඉල්ලනවා වගේ. ඒ අතරෙ මගෙ අත් දෙකට තේරෙනව එයා යන්තම් වෙවුලනව. මට ඒ වෙලාවෙ මොකක් උනාද කියල හිතාගන්න බැහැ. මට එයාගැන හරි ආදරයක් හිතුන එකපාරටම. ලස්සනම ලස්සන පුංචි කෙල්ලෙක්, මගෙ අත් දෙකෙන් හිර වෙලා. ඇස් දෙකෙන් ඇස් දෙක බලාගෙන.. ඒ වෙලාවෙ හිතට එන දේවල් හිතාගන්න පුළුවන් නේ?

මම ඔලුව යන්තම් පහත් කරලා එයාගෙ ලපටි තොල් දෙක උඩට යන්තම් කිස් එකක් දුන්න. කෙල්ල දැන් තවත් බය වෙලා වගේ. ඒත් එහාට යන්න හැදුවෙ නැහැ. ඇස් දෙක පියාගෙන...... මම කම්මුලකුත් යන්තම් කිස් කරල ආයෙත් එක තොල්පටක් අල්ලගත්ත...... ...... .... එයාට පුරුද්දක් නම් නැහැ. ඒත් කිසිම විදියකින් විරුද්ධ උනේ නැහැ.... මම එහාට උනා...

"සොරි නංගි...... මට කන්ට්‍රෝල් නැති උනා ඔයාගෙ ලස්සනට... අනේ තරහ වෙන්න එපා...."

ඇත්තටම එවෙලෙ මට මාවම පාලනය කරගන්න බැරුවගියා.

"කමක් නෑ අයියෙ....... මම තරහ නෑ....." තාමත් ගොත ගැහෙනව.... ඒත් කෙල්ල ok...

මම එයා ඇඟ දෙපැත්තෙන් අල්ලගෙන හිටපු අත් බුරුල් කලා. ටිකක් ලතවෙවී ඉඳල එයාම එයාගෙ පුංචි අත් දෙක මගෙ කරට උඩින් දැම්ම. හරියට පොඩි දරුවෙක් තාත්තගෙ කරේ එල්ලෙනව වගෙ.. තව මොනවට බලන් ඉන්නවද... මම ආයෙත් පහත් වෙලා එයාගෙ තොල්......

අපි එහෙම තව විනාඩි 20ක් විතර ඉන්න ඇති. දෙන්නගෙම අත් හිරිවැටෙන්න උනාම අතෑරිය..

ආපහු ගෙදර එනගමන් දෙන්නට දෙන්නගෙ මූණ බලන්න බැ. ඒත් එයා මගේ අත අත් දෙකෙන්ම බදාගෙන හිටපු එක නම් අතෑරියෙ නැහැ.

ගෙදරට ලං උනා. මට එන්න පුළුවන් අන්තිම තැනට ආවම එයා නිශ්ෂබ්ද තාවෙ බින්ද...

"අයියෙ..... thanks....."

මම මුකුත් නොකිය එයාගෙ නළල කිස් කලා..

"පරිස්සමෙන් යන්න....."

ආපහු ගෙදර ආවමයි ෆෝන් එක බැලුවෙ. එයාගෙන් මැසේජ් එකක්

"අයියෙ ලෝකෙන්ම හොඳම gift එකට ගොඩක් පින්.....!"

ඒකට මම රිප්ලයි කරපු කට කැඩිච්ච කථාව මෙතනට අදාල නැත ;)

Monday, February 21, 2011

ඔයා දන්නවද? මට මෙහෙම කවුරුවත් සලකල නෑ . . . . . . . . . . . .



'ආ...ං'

හම්මේ රහ, මම ඉතින් අනල කන්නෙ නෑනෙ තියෙන හැම එකම අල්ලලා කටේ ඔබා ගන්නව මිසක්, ඉතින් මෙහෙම කවනව නම් බැරියෑ ;). අවුල තියෙන්නෙ ඒ අතට වැඩිය අහු වෙන්නෙ නැති එක තමයි, ඒත් ඒකත් එච්චරම අවුලකුත් නෑ.

කටවල් දෙකක් කවාගත්ත. දැන් බත් එකේ අත තියාගෙන මගෙ මූණ බලාගෙන ඉන්නව.

"මොකද?.. තව කටක් කවනවකො"

"මට මහන්සියි, දැන් ඔයාගෙ වාරෙ.."

හුටා, මදැයි ශේප් එකේ නිකං ඉඳගෙන බඩ පුරෝගන්න හිටිය. දැන් කව්වාපියකො මේකිටත්. බැහැයි කියන්නයෑ? මට ඉතින් අනල පුරුද්දක් නෑනෙ, මම කන විදියටම බත් මිටක් අතට අරගෙන කැව්ව. අනේ ඇස් දෙකේ කඳුළු පිරිල ආයෙමත්. ඒක හංගන්න හදනව. එව්ව කොහෙද අපිත් එක්ක?

දැන් කාලා ඉවරයි. අතත් හෝදගෙන ආපහු බංකුවටම ආව. කෙල්ල දැන් මගෙ ලඟින්ම වාඩි වෙලා, හොඳටම ලඟින්. වාඩි උනත් මගෙ උරහිස ගාවම තමයි උස :) . දෙන්නටම කථාකරන්න දෙයක් නෑ ඔහේ බලාගෙන ඉන්නව. පාක් එකේ යන එන අය දිහා. ගස් දිහා. සිගරට් ගහන පොඩි උන් දිහා, උංට ඒවා විකුණන කඩේ එකා දිහා.. බලන්න මොනවද නැත්තෙ පාක් එකක?

ටික වෙලාවක් යද්දි මගෙ පපුව හරියෙන් බරක් වගේ දැනෙනව. මලා මෙයා හෙමිහිට ඔලුව මගෙ පපුව උඩ තියාගෙන.. එපා කියන්නයැ? මාත් ඇඟ වටේ අතක් දාගත්ත. පොඩි එකීගෙ ආසාවනෙ. පව්නෙ. එහා ඒ හැම මොහොතක්ම රස විඳිනව වගේ, ඇස් දෙකත් පියාගෙන මගෙ පපුවෙ සද්දෙ අහගෙන ඉන්නව කන තියාගෙන. මම ඇග වටේ දාගෙන හිටපු අත අරගෙන හෙමිහිට එයාගෙ කොණ්ඩෙ අතරින් ඇගිලි ගෙනිච්ච (පස්සෙයි දන්නෙ එයා ඒකට කොච්චර ආසද කියල).

"අයියෙ....." පුංචි එකී ඇස් දෙක පියාගෙනම හීන් හඬින් කතාකලා.

"ඔයා දන්නවද? මට මෙහෙම කවුරුවත් සලකල නෑ, ගෙදර අයවත්..." කඳුලු බේරෙනව මූණ දිගේ..

මං සාමාන්‍යෙන් මෙහෙම දේකට සංවේදී වෙනව අඩුයි, මොකක්හරි කතාවක් දාල මගෑරල දාන එකයි සිරිත, කොටින්ම කලින් කෙනා යද්දි "තමුසෙ නම් හැඟීම් දැනීම් නැති ගලක් " කියලයි ගියෙ. ඒත් අද මට මොනවා උනාද මන්දා. හරිම අනුකම්පාවක් හිතුනෙ එයා ගැන. ඔලුව අතගගා හිටපු මම එයාගෙ ඔලුව යන්තම් උස්සල එයාගෙ නළල මැදට පොඩි කිස් එකක් දීල ඇඟිල්ලෙන් ඇස් දෙක ලඟ ඇවිත් තිබුන කඳුලු පිහ දැම්ම.එදා එහෙම කරන්න මට හිතුනෙ මොකද කියල අදටත් මට හිතාගන්න බැහැ. එයත් ඇස් දෙක පියාගෙන කිස් එක පිළිගත්ත.මට දැනෙනව එයාගෙ පපුව ගැහෙන වේගෙ සෑහෙන්න වැඩි වෙලා.

"දැන් මම ඉන්නවනෙ බබෝ ඔයා ලඟ.... කෝ දැන් ඔය කඳුලු පිහදාගන්න"

එයා අත් දෙකෙන්ම මගේ අනිත් අත අල්ලගෙන.

"අනේ මට හැමදාම ඔයාලඟ ඉන්න පුළුවන් නේද....? pls...."

කියන්න දාහක් දේවල් කටට ආවත් එයාගෙ ඇස් දෙක දිහා බැලුවාම ඒව කියන්න හිත හදාගන්න බැරි උනා. මහම මහ අසරණ කමක්. කියාගන්න බැරුව ගොඩක් දේවල් හිත ඇතුලෙ හිර කරගෙන ඉන්න විදියක් එයාගෙ මූණෙන් පේනව. එහෙම බලාගෙන කොහොමද එයාගෙ හිත කඩන්නෙ?, දැන් මට සෑහෙන්න ශුවර් මේකි කරන්නෙ බොරුවක් නෙමේ කියල. ඒත් මේ සිද්ධවෙන ඉක්මන මට හිතාගන්න අමාරුයි. ඇයි මාවම?

"හරි, හැබැයි ඇණයක් වෙන්න බෑ හරිද?"

"හ්ම්.."

අනේ කවුරුත් දකීද?....... කමක් නෑ




බස් එකෙන් බැහැල ගාල්ලට ඇවිත් ආපහු ගෙදර යන්න බස් එකට නැග්ගම තමයි කල්පනා කරන්න මතක් උනේ. තාම මට එයාව තේරුම් ගන්න බෑ, බයිට් එකක් වීමෙත් ලොකු හැකියාවක් තියෙනව, ඒත් දැකපු මුල්ම දවසෙ ඉඳලම? මගෙ ඇති ලස්සනකුත් නැහැනෙ අමුතු (බලන්න බැරි තරම් කැතකුත් නෑ ඒ කාලෙ, කණ්නාඩියකින් බලපු කාලයක් මතක නැති එකේ දැන් කොහොමද දන්නෑ), බ්‍රයිටකුත් නෙමේ, සල්ලිත් නැහැ නෙව (සමහර කෙල්ලො දන්ථ විඳ්‍යා උපාධි කරන්නත් ඔහොම එනවනෙ), ඉරිච්ච කලිසමකුයි පාට ගිහිපු කළු ටීශර්ට් එකකුයි ඇඳගෙන. රබර් දෙකක් හෝ නිකම්ම ඇවිදින මම, අර ඔය කෑලි දාගන්න පන්ති අයිනෙ ඉන්න ලෙවිස්, ෆිලාස් (ඩුප්ලිකේට් හරි) වලින් සන්නද්ධ වෙච්ච, ජෙල් හරි එන්ජින් ඔයිල් හරි නාලා කොණ්ඩෙ හදාගෙන කුණු බිඳක් ගෑවෙන්නෙ නැතිවෙන්න ඇවිදින 'අයියලා' ගෙ අහලකින් හිටින්නෙ නැති එක වගේම. කරන්න හැකි ගොඩක් දහ ජරා වැඩත් කරල එයාලගෙ වයස් වල අය අතරෙ 'හොඳ' නමත් කෙලවගෙන ඉන්න එකේ...

එහෙනම් මොකද?

ඒත් මේ ඇත්තටම නම්?

කෙල්ල නම් ගොඩක්ම ලස්සනයි, එයාගෙ වයසෙ ගෑණු ළමයෙක් හැටියට පුංචි වැඩිද මන්දා මගෙ උරහිස ගාවටවත් නෑ, දකින ඕනෙ කෙනෙක් 9 වසරට එහා කියල කියන්නෙ නෑ. අනික බ්‍රයිට් කේස් එකක්, හැම අතින්ම මගේ අනිත් පැත්ත වගේ. අනික කට . . . ඇඟේ පුංචි කම වැහෙන්න ස්වභාවධර්මය දීල තියෙන්නෙ කට වෙන්න ඇති. අඳින පළඳින විදිය නම් මට වඩා වැඩි වෙනසක් නෑ, ගෑණු ළමයෙක් හැටියට පිරිසිදුවට හිටියට යන්තම් අතට අහුවෙන ඇඳුමක් දාගෙන, හොද්ද හැඳිගානව වගේ යන්තම් කොන්ඩෙත් පීරගෙන දුවන කෙනෙක්. බොරු විච්චූරණ නම් නැහැ අතේ ඔරලෝසුවක්වත් තිබුනෙ නෑ මම හිතන්නෙ. ඔය කාලෙ සමහර 'ක්ලාස් යන' බවලත් උදවියගෙ අලංකරණ දැක්කාම..... හම්බෝ නේද?.මට තේරුම් ගන්න පුළුවන් උන එකම දේ වෙන ගෑණු ළමයි ලොකු මහත් වෙනකොට හිරකරල හංග ගන්න හදන හිතේ ඉන්න පුංචි ළමය, මෙයත් එක්ක නිදහසේ ඉන්නව කියන එන විතරයි.

ඒත් ඇයි මම?

කොහොම හරි පහුවදා හම්බවෙන්න මට හිතුනෙ නැහැ, බයිටක් නම් මොකටද නිකම්ම වැටෙන්නෙ?. ඔහොම සතියක්ම විතර ගියා. ඒත් එයාව මගාරින්න බැරි දවසක් එනවා හැම සතියෙම, ඉරිද එයාට උදේ ක්ලාස් එක ඉවරවෙනකොටමයි අපෙත් ක්ලාස් ඇරෙන්නෙ, එකම පාරෙ එයා ඉස්සර උනාට නැවතුනොත් මට මග අරින්න බෑ.

එදා කරුමෙට හරි වාසනාවට හරි මගෙත් එක්ක ක්ලාස් එකේ ඉන්න එකා පාරෙන් අනිත් පැත්තට ගියා, දැන් අවුලක් නෑ බයිටක් උනත් තනියෙන්නෙ. ඒත් එදා මට හිතුනෙ නෑ එයා ඉඳීවි කියල, කලින් දවස් වල කථාකලෙත් නෑනෙ.

මෙන්න හන්දියෙම ඉන්නව, හරි වැඩක් එයත් තනියම. වෙනදට එන සේනාව කොහෙද දන්නෙ නෑ. මම එයා ගණන් ගන්නෙ නෑ වගේ ඉස්සරහට ගියා. ටිකක් තරහ ගියා වගේ ඒකට නම්. පොඩ්ඩක් දුර යනකම් බලාගෙන ඉඳල දුවගෙන වගේ ආව, ඇවිත් මාව පහු කරල හෙමිහිට යනව බිම බලාගෙන. අපි දැන් ගාල්ල පැත්තට යනව. එච්චර සෙනගක් නෑ ඉරිද උදේම නිසා.

"හපෝ සමහරු අල්ලගන්න හරි අමාරුයිනෙ..." බිම බලාගෙනම

"වෙන්න ඇති.." මට තාම ශුවර් නෑ මේකි. "මට ඔයාට කියන්න දෙයක් තියෙනව.." මම ටිකක් ලංවෙලා කිව්ව, පොඩ්ඩක් නටවමුකො.

"ඉතින් කියන්න...." මම ඒක කියනකම් හිටිය වගේ.

"මට බඩගිනී ලමයො..."

"හාපෝ....."

"ඇයි තමුසෙලට බඩගිනි වෙන්නෙ නැද්ද?"

"හරි හරි මගෙ ලඟ කෑම එකක් තියෙනව ඕනෙද?"

"අන්න එහෙම එනවකො... යමු පාක් එකට"

"පාක් එකට....? " කෙල්ල බය වෙලා... කම්මුල් දෙකත් රතුයි ගමන් වේගෙත් අඩු උනා.

"බයනං ඉතින් කමක් නෑ..."

ටික දුරක් ඇවිද්දට පස්සෙ

"නෑ යමු."

හුරේ..... හෙහ් හෙහ් පාක් එකට ගියා කියන්නෙ මේකිට මාව බයිට් කරන්න වෙන්නෙ නෑ, ඒක අපේ රාජ්ජෙ, කලෙක්ශන් දැමීමේ ඉඳල බට, බෝතල්, මල් ආදී සියළුම ජීවන ක්‍රියා සඳහා අභයබූමිය නෙව පාක් එක. ඉන්නතරමක් ඉන්නෙ දන්න කොල්ලො. බයිට් වෙනවනං ඒකිම තමා.

ස්ටේශන් එක ඉස්සරහට එද්දි එයාගෙ කම්මුල් දෙක රතුම වෙලා. යන්තම් අතින් අල්ලගෙන පාරත් පැන්නුව.

"කවුරුත් දකීද දන්නෙ නෑ...." යන්තම් වට පිට බලන ගමන් අහනව, කෙල්ලට ආසයි බයයි වගේ ;) .

"ඔයාට අවුල් නම් යමු වෙන තැනකට"

"නෑ කමක් නෑ"

ඇතුල් වෙනකොට දන්න සෙට් එකක්. ආ මචං, ගොඩගිහිං ඈහ් වගේ වචන දැම්මට එකෙක්වත් චාටර් කරන්න ආවෙ නෑ, උන්ටත් එන්න වෙනවනෙ, වෙලාව හොඳයි පාක් එකේ හොඳම තැනක් හිස් වෙලා, වැරදිලාවත් වීක් එන්ඩ් වල නොවෙන දෙයක්. (ගාල්ලෙ පාක් එකට ගිය උන් දන්නව ඇති අර අතෑරලාදපු ගල් රෝල ලඟ ගස් අයිනෙ ගේට්ටුවට මූණදාල තියෙන බෙන්ච් එක ගැන) එතන ලඟ ටැප් එකෙන් අතත් හෝදගෙනම වාඩි උනා.

[එතන පරණ පින්තූරයක් තමයි උඩ තියෙන්නෙ, අර සුදු ඇඳුමක් පේනතැන]

"ඔයාට නම් මෙතන පුරුදුයි නේද සෑහෙන්න"

"හ්ම්"

"මං කීවෙනියද?"

"ඒහ්?"

"මෙතනට එක්ක ආපු?"

"පහ නැත්තම් හය, වැඩි මිසක් අඩු නෑ... "

"අනේ යනව යන්න..."

"හ්ම් හ්ම්.. කෝ ගෙනාව කියපු කෑම"

කෙල්ල බෑග් එකෙන් බත් එකක් අරගෙන දිග ඇරිය. හ්ම් සුවඳ නම් එළ, පලවෙනි කට කටේදාගත්ත. හ්ම් එදා රසම තමයි. දැන් දෙන්න දෙපැත්තෙ ඉඳන් දෙනවා වැඩේ, එයා කනවට වඩා අනනව. පොඩ්ඩක් එක්සයිට් වෙලා වගේ.

"මේ..."

"හ්ම්.."

"තනියෙන් කන්න ලැජ්ජ නැද්ද ඕයි."

"තනියෙන්යැ කන්නෙ?"

"එහෙම නෙමේ.."

"එහෙනම්?...."

"කටක් කවනවකො....."

"වැඩේමයි... ඔය අත් දෙකක් තියෙන්නෙ"

"හරි තමුසෙ කනව එහෙනම්, මම අත හෝදගන්නම්.."

"හපෝ.... හරි කේන්තිනෙ...... ඉන්න.."

යා....හු..........

Saturday, February 19, 2011

මිනිස්සු හිතයි මං තමුසෙව අනාථකරල කියල. . . . . . . . . . .

"මැට්ටියෙ, ඇස් දෙක පිහිදා ගන්න, වටේ මිනිස්සු හිතයි මං තමුසෙව අනාථකරල කියල" කණට ලං වෙලා කිව්ව (ඇත්තටම වටේ පිටේ හිටපු අයත් සෑහෙන්න බැල්මක් දාගෙන හිටියෙ, මේකි තව ටිකක් හයියෙන් ඇඬුව නම් මට නවතින්න වෙන්නෙ හබරාදූව පොලීසියෙ.)

ඒ කථාවට යන්තම් හිනාවක් ගියා, කොච්චර උනත් පුරුදු ගති අතාරින්න බෑනෙ. දැන් ජනේලෙන් එලියම බලාගෙන ඉන්නව, ඒ අතරෙ මගෙ අතේ ඇගිලෙ දෙකක් මිරිකලා අල්ලගෙන.

"මේ දවස් වල හරි අමාරුයි නේද?..."

"ම් ම් ම් . . . " (යන්තම් ඔලුව හැරෙව්ව, තාම ඇස් වල කඳුලු)

"නෑ ඉතින් පිස්සු වගේ නේ?.."

"ඒ කිව්වෙ...."

"ඉවසල ඉන්න දවස් දෙක තුනයිනෙ..."

වැඩේ තේරෙන්න ටිකක් වෙලා යනව වගේ,

"හාපෝ... ඔයානං මහම මහ........"

ජනේලෙන් එලිය බලාගෙන තොල හපං තනියම හිනාවෙනව. මගෙ ඇඟිලි තවත් තදට මිරිකගෙන .....

"මේ ..... " ආයෙත් එයාගෙ කණට ලං වෙලා කථාකලා

"ම්.."

"ඔය ඇඟිලි දෙක තාම මගේ..."

ටක් ගාල අත අතෑරල පොත්ටික තුරුලු කරගත්ත. මාර ලැජ්ජාවක්නෙ :)

[ගාල්ලට කිට්ටුයි... ජනකගෙ ක්ලාස් ඇරෙන වෙලාව මේකිත් එක්ක ස්ටෑන්ඩ් එකෙන් බැස්සොත් වහ කන්න වෙන්නෙ. (දැනට ;) )]

"මේ මම ඉස්සරහින් බහිනව.."

"හ්ම්.."

"අහපු දේට උත්තරයක් දැන් ඕනෙද පස්සෙ දෙන්නද?"

"ඕනෙ නෑ..."

"හරි අපි යනව එහෙනම්....." (බස් එක රූමස්සල පහු කරමින්, මම ෆුට්බෝඩ් එකට බහින්න නැගිට්ටා..)

"මේ....." (කෙල්ල මගෙ අත යන්තම් අල්ලගෙන) "හෙට එනව නේද?..."

"ඇයි අහන්නෙ?"

"නිකම්..."

"එන්නම්, ලොකු ලේන්සුවක් ඔයා ගේනවද මං ගේන්නද? .... මේ .. අපි ගියා...."

Wednesday, February 16, 2011

ඇත්තටම මං ගැන කිසිම අදහසක් නැද්ද? . . . . . . . . . Part 2

[කලින් පෝස්ට්ටයේ ඉතුරු ටික]

"නැතුව ඉතින් අරගෙන යන්නයෑ?, මම යන්නෙ ස්ටෑන්ඩ් එක පැත්තට"

"ඉන්න මාත් එනව"

"මට මොකෝ...."

දැන් මාතර පැත්තට පාද යාත්‍රාවේ, එයා බිම බලාගෙන ඉස්සරහින් මම පිටිපස්සෙන්, ආසිරි එක පහු වෙනකොට සමාන්තරව :), නිකම්ම ඇවිදින්නත් බෑනෙ, කථාව ගමනට දෝලාවක් කියනවනෙ.

"මොකෝ ඇත්තටම තමුසෙල දෙන්නට මෙහෙ මතක් උනේ අද?"

"අපෙ ගම මෙහෙනෙ?"

"මලා කුමාරිහාමි කෙනෙක් එහෙනං ඈහ්?"

හීනියට හිනාවක්.. තාම බිම බලාගෙන. වෙනද කෑගහගහ දඟලන කෙනා අද මාරම සන්සුන්. ඔහොම ඉන්නවනම් මොනවද කරන්න බැරි නේද? :)

ඊට පස්සෙ අපි අතරෙ කථාවක් නොවුන තරම්. මාතර ටවුන් එකෙන් මගේ වැඩෙත් කරගෙන (අතුරු කථාවක් තියෙනව, ඒව කිව්වොත් නීරස මේ කථාව තවත් නීරස වෙයි) ආපහු බස් එකට එන්න ආව. ස්ටෑන්ඩ් එක ඉස්සරහින් පාර පනිද්දි යන්තම් අතින් ඇල්ලුනත් (මැරෙන්න දෙන්න පුළුවනෑ දැම්මම?) , මූණ දිහා බලල අහක බලාගත්ත මිසක් වෙන ප්‍රතිචාරයක් තිබුනෙ නෑ. මොකක්දෝ බර කල්පනාවක.

කොලඹ බස් එකකට නැගල අන්තිම පේලියෙ වාඩි උනා (ඔව් අර ලව් කෝනර් එක තමා, කොච්චර උනත් කෙල්ලෙක් නෙව ;) )

බස් එක පිටත් වෙලා,

ජනේලෙන් එලිය බලාගෙන තාමත් බර කල්පනාවක. සෑහෙන දුරක් එහෙම ආව. මාත් බාධාකරන්න ගියේ නෑ, සෙමිලක්ශරියක් උනත් කොන්දා කෙල්ල දිහා බලල දෙන්නටම නෝමල් ටිකට් දුන්න ;) (මාතර කොලඹ බස් වල යන කපල්ස් වලටයි මේ අවවාදය!).

මිරිස්ස හරියට එනකොටත් එලියම බලාගෙන. මටත් ඉතින් බලාගෙන ඉන්න බෑනෙ, ටිකටුත් ගත්ත එකේ කථාකර කරවත් යමංකෝ.

"මේ...."

උත්තර නෑ... යන්තම් නිකටින් අල්ල මූණ හැරෙව්ව.

"මොකෝ බුම්මගෙන...?"

කම්මුල් දෙකම රෝසපාට වෙලා, ලැජ්ජාවෙන් බිම බලල ආයෙ අනිත් පැත්ත බලාගත්ත.

"හපෝ බුම්මගෙන ගමං යන්න බෑනෙ, මම බහිනවා වැලිගමින්. ඔහොම තනියම ගියෑකිනෙ.."

"අනෙ එපා... ඉන්න"

"එහෙනම් මොකද බුම්මගෙන කියනවකො..."

"ම.ට ඔයාගෙන් අහන්න දෙයක් ති..යෙනව" ගොත ගැහි ගැහි හෙමින් ඇහුව.

"ඉතින් අහන්නකො.." එහෙම කියන ගමන් එයාගෙ අත උඩින් මගෙ අත තිබ්බ, මට ඒ වෙනකොට මෙයා ok කියල තේරිලා තිබ්බෙ. හරිම පුංචියි අත. මගෙ අතින් සම්පූර්ණෙන් වහන්න පුළුවන්. සීතල වෙලා හොඳටම, ටිකක් හයියෙන් හුස්ම වැටෙනවත් පේනව. කෙල්ල හොඳටම බය වෙලා.

"ඔයා වැරදියට හිතන්නෙ නෑ නේද....." යන්තම් වචන ටිකක් ගැටගහ ගත්ත

"කියන්නකො ළමයො හරිද වැරදිද කියන්න" ටිකක් කරුණාවෙන් කථාකරල බලමු ;) පුරුදු නම් තමුසෙ, හලෝ එහෙම කියල තමා. ඒත් ෆ්ලෙක්සිබල් වෙන්ට එපෑය.

"ඔයා තාරිකා ගැන තාමත් හිතනවද?"

ඒකිව්වෙ අර සපත්තුව ගැන, මට ඒකට නම් තද උනා, යකෝ අමතක කරන්න හදන ඒවමනෙ හැම එකාටම ඇඟිල්ලෙන් අනින්න ඕනෙ.

"තමුසෙට ඒවගක් වැඩක් නෑනෙ..."

"මම එයත් එක්ක කථාකලා..."

"ඒ මොක !@#!@#@කටද?" (අවුලක් නෑහ් i know what u are thinking, yes)

"ඔයාගැන අහන්න......"

"තමුසෙ මාර පණ්ඩිතකම්නෙ කරන්නෙ, මං ගැන හොයන්නෙ මොකටද, ඇරත් හරි කෙනෙක් ගෙන් අහල තිය්නෙන.." කියාගෙනම තියල තිබ්බ අත ආපහු ගත්ත.

[වැලිගම ස්ටෑන්ඩ් එකේ - කෙල්ල තාම බිම බලාගෙන, මගේ කථාව සැර වැඩිද මන්දා, අප්සට් ගිහින් හොඳටම]

දිග නිශ්ශබ්දතාවක්....... බස් එක වේගෙන් අහංගම හරියට ලං වෙනව.... මූණ හරියට පේන්නෙ නැතත් හොඳටම අප්සට් ගිහින්. මටත් තද වෙච්ච නිසා මාත් අහක බලාගෙන, ශීට් එකේ තව එකෙක් වාඩි වෙච්ච නිසා දැන් එයා ටිකක් තෙරපෙනව, ඒක නම් අවුලක් නෑ මගෙන් බාගෙකටත් අඩුයිනෙ. තාත්තයි දූයි වගේ ;) .

අහංගම ස්ටෑන්ඩ් එක ලඟ.....

"අයියෙ......." හීන් අඩන්න වගේ ලඟ හඩක්.. මම උඩ ගිහින් බිම වැටුන. ලේසියකට බවලතෙක්ගෙ කටින් අහපු වචනයක් නෙමෙයි. ඇරත් නොහිතනම කෙනෙක්ගෙ කටින්..

මම එයාගෙ මූණ දිහා හරියට බැලුවෙ එතකොට (පස්සෙ නම් කිව්ව විදියට මම බය හැරිල මූණ දිහා කන්න වගේ බලං හිටිය(ලු). ඕව්වා ඉතින් පැහැදිලි මඩ). ඇස් දෙකේම හොඳටම කඳුළු පිරිල, එක ඇහැකින් ගලාගෙනත් ඇවිත්. කම්මුල් රතුම වෙලා. පැය ගාණක් අඬල වගේ. එයා එහෙම ඉන්නව දැකපු ප්‍රථම වතාව. වෙනද හිනාවෙලා දුවල පැණල කුරුලුපැටියෙක් වගේ ඉන්න කෙල්ලට මොකද උනේ....

"ඇත්තටම මං ගැන ඔයාගෙ කිසිම අදහසක් නැද්ද?..........."

[හබරාදූව ගාල්ල හික්කඩුව,අම්බලංගොඩ අළුත්ගම කළුතර කොලඹේ කොලඹේ කොලඹේ..........]

Tuesday, February 15, 2011

ඇත්තටම මං ගැන කිසිම අදහසක් නැද්ද? . . . . . . . . . Part 1

ඉස්සෙල්ල පෝස්ට් එකේ කිව්වනෙ අපිට ඔන්ලයින් මිත්‍රයෙක් හම්බුන එක ගැන. එයාම තෝල්ක ධූරය බාරගත්තා ලස්සනට (එහෙම කිව්වට ඇඟේ ගැහුවාද කවුද දන්නෙ?) මම දිගටම ෆිට් එකට විතරක් කථාකරපු නිසා මගෙන් කෙලින්ම අහගන්න බැරි ගොඩක් දේවල් mrතෝල්ක හරහා හොයාගෙන තිබුන (CID), යන එන තැන්, කථාකරපුව විතරක් නෙමේ එයා වගේ කෙල්ලෙක් ගැන සාමාන්‍යෙන් කොල්ලෙක් එක්ක විතරක් කියන දේවල් පවා...

සුපුරුදු පරිදි මෙහෙමම මාස කිහිපයක් ගෙවිල ගියා. දැන් දවසේ කනවා බොනවා නිදාගන්නවා වගේම වෙලා රෑට ඔන්ලයින් බයිලා ගහ ගහ ඉන්න එක. කවුද අප්පේ අකමැති හීණියට මලක් කඩලා නිදාගන්න?

ජනවාරි මාසෙ දවසක්

මොකක්දෝ ගෙවන්න හෝ ගන්න මම එදා මාතර ගිහින් හිටියෙ. නූපේ හන්දියෙන් වැඩේ කරගෙන එළියට බහිනකොට මෙන්න මාතරට යන හෝල්ට් එකේ අඳුනන දෙන්නෙක් ඉන්නව වගේ. එකපාරට අඳුනගන්නත් බෑ, සාමානයෙන් මම නූපෙ ඉඳලා මළත් බස් එකට රුපියල් 6ක් නොදෙන නිසා පාදයාත්‍රාවේ යෙදෙන්න ගත්ත ඒ පැත්තට. දැකල පුරුදු නම් හම්බවේනෙ.

මළකෙලි 21යි.

අර පුංචි කෙල්ල එයාගෙ නැට්ටත් එක්ක (නැට්ට කිව්වෙ අර යන යන තැන ඇදගෙන යන යාළුවාට), මම ලඟට එනකොට අතට තට්ටු කරල මාව පෙන්නුව, එතකොට එයාගෙ කම්මුල් යන්තම් රතු වුනාද මන්දා. ඇත්තටම මට එයා අඳුනගන්නත් අමාරුයි. වෙනදා යන්තම් මොකක්හරි ඇඳුමක් ඇඟට දාගෙන ඔලුවත් යන්තම් පීරගෙන (දැගලිල්ලට ඒක අවුල් වෙනවා පැයෙන්) දුවන කෙල්ල අද මාරම ලස්සනයි, ලා නිල් පාට් බ්ලවුස් එකකුයි ඒකටම ගැලපෙන ස්කර්ට් එකකුයි ඇඳලා,ඔලුවත් ලස්සනට පීරලා. මොකක්හරි උත්සවේකට යන්න වගේ.

දැක්කම කථානොකර හරිනෑනෙ ;)

"මොකෝ ගාල්ල ඉඩ මදිද?"

මට තේරෙනව එයාගෙ කට නලියනව හොඳ කථාවක් කියන්න. ඒත් අමාරුවෙන් කන්ට්‍රෝල් කරගන්න වගේ යටිතොල හපාගෙන බිම බලාගත්ත මූණ තවත් රතු වෙලා. උත්තර දුන්නෙ නැට්ට.

"නෑ මේ සැනසිල්ලෙ ඉන්න තැනකට ආවෙ, කෝ මෙහෙත් ඉන්න නෑනෙ"

"හා එහෙනම් තමුසෙල ඉන්නවකො" මම යන්න හැරුනා, ඕනෙ ඉඳිආප්ප කඩයක් දාගන්නෙ නැතෑ, මට මොකද.

"අනේ ඉන්න" ආ කට ඇරිලා. "අපිත් මේ මාතරට යන්නෙ"

ටිං ටිං ටිටිං ටිං ටිං ටිං (මගෙ ෆෝන් එක රිංග් වෙනව. හෙලෝ....) කෝල් එක අරගෙන ආපහු බලනකොට ලඟ හිටපු දෙන්න නෑ. අර ලස්සන පුංචි කෙල්ල විතරයි.

"කෝ යාලුව" ෆෝන් එක සාක්කුවට දාන ගමන් ඇහැව්ව.

"එයා බස් එකේ නැග්ග." දැන් ඈත බලාගෙන. ලේන්සුව මිරිකගෙන, හරි ආවේගෙකින් වගේ.

"හරි එහෙනම් අපිත් ගියා"

"මේ....."

"ඇයි?"

"මාව මෙතන තනියම දාල යන්නද හදන්නෙ?..... "