Sunday, February 13, 2011

මට ඔයත් එක්ක ටිකක් කථා කරන්න ඕනෙ....

කථාව මෙතැන් සිට ටිකක් ඉක්මන් කරනවා, නැත්තම් හම්බුන තැන් ටික කියලාම එපාවෙයි, ඒත් ඒ හැම තැනක්ම පසුවට සම්බන්ධ වෙනව, එතකොට ආයෙ කියන්නම්

දැන් ඉතින් AL ක්ලාසුත් පටං ගත්ත, මම මැත්ස් කරන්න ගත්ත, ඒ දවස්වල ඉතින් පන්තියෙන් පන්තියට පාවෙන කාලෙනෙ (දැනුත් එහෙම තමා, තාම බැස්සෙ නෑ) ඉතින් ප්‍රසිද්ධ ක්ලාස් කිහිපෙකට ගිහින් ෆිට් නැති තැන එච්චරම ප්‍රසිද්ධ නැති සර් කෙනෙක්ගෙ යන්න ගත්තා ෆිසික්ස්, පන්තියට ගිහින් ටික වෙලාවක් ඉන්නකොට තමයි කෙල්ලො සෙට් එක බැස්සෙ, ඒ අස්සෙන් පුරුදු කිචිබියක්. කියන්න ඕනෙ නෑ නේද කවුද කියලා. වෙනදා වගේම තමයි දැගලිල්ලෙ ඉවරයක් නෑ. ඔහොම බලාගෙන ඉන්නකොට එයත් එකපාරටම මගෙ දිහා බැලුව, ටිකක් ශොක් උනා වගේ බලාගෙන ඉඳල යන්තමට හිනාවෙලා බිම බලාගත්ත හෙණ ලොකු වැරැද්දක් කලා වගේ.

ඒත් ඉතින් මට මොකද. මම නොදැක්කා වගේ අහක බලාගෙන හිටිය, දැන් හැබැයි දැගලිල්ල නැවතිලා, අනිත් කෙල්ලො වගේම හරියට ඩෙස් එකේ වාඩිවෙලා ඉස්සරහ බලාගෙන ඉන්නව. එදා නම් ඩෙස් පෙරලගත්තෙ නෑ, ඒ එයාද කියල හිතෙන තරම් ඩීසන්ට් විදියට හිටිය.

ක්ලාස් එකේ ඉන්ටවල් එක. කොල්ලො සෙට් එක එක පැත්තක, කෙල්ලො තවත් පැත්තක. පොඩි ඉන්ටවල් එකක් නිසා ජලය පානයටයි බැහැර කරන්නයි ඇරෙන්න මොකෙක්වත් ගියේ නෑ, අවශ්‍යතා දෙකම ඉස්ට කරල මම ආයෙ ක්ලාස් එකට ආව කයියක් දාං ඉන්න. සෙට් එකම දැන් ඩෙස් දෙකක ඉඳං බර සාඛච්චාවක්.මම අයිනක් ගහල ඉන්නව කණ දාගෙන, නයි පොලොංගු විමානෙ නෙව,

'ස් ස් මේ..."

කෙල්ලන්ගෙ පැත්තෙන් සද්දයක්. හැරිල බලපුවාම අර ලස්සන පුංචි කෙල්ල එයාගෙ ඩෙස් එකේ අයිනටම ඇවිත් කිසි ලැජ්ජබයක් නැතුව, තව යාළුවො වගේකුත් එහා පැත්තෙ ඉන්නව

'කොහොමද නිවාඩුව'

'වරදක් නෑහ්, කෝ තමුසෙල කෝල් කලාට පස්සෙ දකින්නවත් නෑනෙ'

'එහෙම තමා ඉතින්' (වටපිට බලන්න මතක් වෙලා තියෙන්නෙ දැන්)

'මොනවද මේ ක්ලාස් එකේ කරන්නෙ' (බයෝ කියල හිතාගන්න පුළුවන් උනත් කටින්ම අහගන්න එක වටිනවනෙ)

'ඇයි අපිට තහනංද?'

'නැතුව..'

'ඒව වැඩක් නෑ' (හීන් හඬින්) 'මේ .... මට ඔයත් එක්ක ටිකක් කථාකරන්න ඕනෙ'

(මළළ සේකරයි, දැන් නම් මේකි එන්නෙ හොඳකට නෙමේ)

'ඒ මොන කෙහෙල් පඳුරකටද?'

'පොඩි ප්‍රශ්ණ ටිකක් තියෙනව විසඳගන්න, පුළුවන්ද?'

'අයියගෙන් අහගන්නවකො දන්නෙ නැති දෙයක් නම්..'

'හපෝ..... බැරිද එහෙනම්.... හා කමක් නෑ' (මූඩ් එක අප්සට් ගියා, මොනවා උනත් කෙල්ලෙක්නෙ, තරහා කරගෙන බෑනෙ)


'හරි ඕකට ඩෝං යන්න ඕනැය. අයියගෙන් මගෙ මේල් එක ඉල්ලගන්න මම ඔන්ලයින් ඉන්නව අද'

'හා එහෙනම්'

[ඉන්ටවල් එක අවසානයි. සෙට් එකේ කට කැඩිච්ච කථා මැද එදා ක්ලාස් එකත් ඉවර උනා. දෙවෙනි ඉන්ටවල් එකේ නම් මම කලින් පැන්න නිසා වෙන අවසානක් නෑ.]

මෙතැන ඉඳන් වෙච්ච කථා ඔක්කොම කියන්න ගියොත් කියවන අයට (එහෙම අය ඉන්නවනම්) එපා වෙනව. ඒත් එයා එදා මගෙ මේල් එක හොයාගෙන ඔන්ලයින් ඇවිත් තිබුනා. එදා ඉඳල මාස කිහිපයක් යනකම් හැමදාම හවසට කථා වෙනව එක එක දේවල් අපි. (ආයෙ අර ක්ලාස් එකට මම ගියේ නැත) කථාකරපු දේවල් නම් ඉතින් වල් පල් තමා, මල් කැඩුවම කියන්නත් අමාරුයි. වටේ හිටපු අය ගැන, දෙන්නම දන්න යාළුවො ගැන, කපල් ගැන, සහ තාක්‍ෂණික අනං මනං තමයි. බ්ලොග් ගැන ෆෝරම් ගැන චැට් රූම් ගැන විතරක් නෙමේ ගෲප්ස් පොඩ්කාස්ට් ෆේස්බුක් වගේ දේවල් ගැනත් කතා බහ උනා.

ඒ කථාකරද්දි තේරුනා මෙයා වෙන අයට වඩා සෑහෙන්න වෙනස් විත්තිය. කථාකරපු හැම කාරණයකදිම සාමාන්‍යෙ කෙල්ලෙක්ට වඩා ගොඩක් ඕපන් විදියට හිතුවෙ, (මං එතකොටත් පොඩි කාලයක් එකක් කරලනෙ තිබ්බෙ ඉතින් අත්දැකීමෙන් කියන්නෙ) වෙන කෙල්ලෙක් නම් තොල හපාගෙන ලැජ්ජාවෙන් බිම බලාගන්න ජාතියෙ කථා වලටත් ඒවගේම කථාවකින් උත්තර හම්බුනා විතරක් නෙමේ සමහර වෙලාවට මටත් කට උත්තර නැති වෙන කථා කිව්ව. සමහර විට අර දාංගලෙයි කථාකරන්න ලැජ්ජබය නැති කමයි ඒකෙම රෝග ලක්ශන වෙන්නත් ඇති.

මට තේරුන තව දෙයක් තමයි මේ මාස කීපෙට මං ගැන සෑහෙන්න දේවල් හොයලා කියල. ඒත් එච්චරම ගණන් ගත්තෙ නෑ මම, ඕපදූප වලට නම් ඉතින් තටු තියෙනවනෙ.

ඒ අතරෙ තමයි චැට් රූම් එකකදි අපේ ලොකුම සහායකයා හම්බ වෙන්නෙ. දැනටත් බ්ලොග් අවකාශයේ, මූණුපොතේ ක්‍රියාකාරී සාමාජිකයෙක්. (තෝ අහුවෙයංකෝ, තෝ තමා මාව වලේ දැම්මෙ) කොහොම උනාද මන්දා එයා මටත් නොදැනි ඌත් එක්ක ෆිට් වෙලා තිබුනා. ඒ කථාකරපු දේවල් ඔක්කොම මම දන්නෙ නැති උනත් ගොඩක් මං ගැන හොයල වගේම, වෙන කුමන්ත්‍රණේකුත් කලා කියලයි ආරංචිය..

දැන් මොකද වෙන්නෙ?

Friday, February 11, 2011

මට කෝල් කරන්න වෙන කොල්ලො නෑ ......

ඔන්න ඔහොම කාලෙ ගත වෙලා ගියා නොදැනිම..

විභාගෙ අන්තිම පේපර් එකට පස්සෙ සති කිහිපයක් හිටපු පළාතෙන් බැහැරව හිටිය නිසාත්, අළුත්ම අත්දැකීම් ගොඩක් එකතු වෙච්ච නිසත් මට අර සිද්ධි අමතකම වෙලා ගියා.

ආයෙත් ගම්පලාතට ගොඩ බැස්සෙත් OL පෙන්ඩිං රිසාල්ට්ස් කාලෙ ආයෙ මොනවද ඉතින් එක එක ඒවට හොට දාන්නයි, අහක යන කරදර දාගන්නවටයි වඩා වැඩක් තිබුනා කියලය. ඒ වෙනකොට ගොඩක් උන් ක්ලාස් යන්නත් පටං ගෙන. හපෝ ක්ලාස්, ගෙදරිනුත් අවුලක් දැම්මෙ නැති නිසා මම පොතට තිත තියලා තිබ්බා ලස්සනට.

රිසාල්ට් දවසත් ආවා (ප්‍රථිපල ජාලෙට දාපු දවස)

අවුලක් නෑ ගොඩ, අලියි බස්සොයි ටිකක් ඉන්නව. යාන්තම් ජාමෙ බේරගෙන. ලොකු රිසාලට් එකක් නම් නෑ. ඒත් ඉතින් හැමෝටම ඕනෙ නෙව දැනගන්න. දැන් ඉතින් පටං ගත්තනෙව දුරකථන සංග්‍රාමෙ,

එහා පැත්තෙන් "පුතා ගෙ කෝමද"

අම්ම "අලි අච්චරයි, බස්සො මෙච්චරයි අනේ... අහවලාගෙ කෝමද?"

ඕක ඉතින් OL රිසාල්ට් බලපු ගෙදර ෆෝන් එකක් තියෙන, ඒ ෆෝන් එකේ නම්බර් අනිත් අය ලඟ තියෙන හැමෝටම අත් විඳින්න වෙන දෙයක්නෙ. හවස් වෙන්න වෙන්න කෝල් ටිකක් අඩු උනා. රිසාල්ට් අමුතුවෙන් සන්තෝස වෙන්න තරම් තඩි නැති නිසත් දුක් වෙන්න තරම්ම චාටර් නැති නිසත් ෆුල් ආතල් එකේ ගෙදර තිබ්බ කෑම ජාති වලට වග කියලා අහවර වෙලා ඇලට් එකක් දාගෙන හිටියා හීනි මනෝපාරක් ගහගෙන.

"ටිං ටිං ටිං ටිං.... ටිං ටිං ටි ටී.....ං "

ගෙදර ෆෝන් එක, අනිවාර්යයෙන් කවුරුහරි ඕපදූපයක් හොයන්න තමා. ලඟපාත කවුරුත් නෑ, ෆෝන් එක උස්සන්න වෙන්න මටම තමා.. ශැහ්..

"හෙලෝ"

එහා පැත්ත නිෂ්ශබ්දයි.....

"හෙලෝ.....ව්."

ගොලුවෙක්ද මන්දා, ඒත් සන්ටෙල් ෆෝන් වල කොයිද වීඩියෝ කෝල්? :D

නම්බරෙත් නොදන්න නිසා එහේ ප්‍රශ්ණයක් වෙන්නැති කියල මම ෆෝන් එක තිබ්බ.

"ටිං ටිං ටිං ටිං.... ටිං ටිං ටි ටී.....ං "

පරණ නම්බර් එකමයි

"හෙලෝව්...."

"හෙලෝව් G**** ඉන්නවද?" හීන් හඬක් කොහේදි හරි අහල තියෙනවා මතකයි, ඒත් ඉතින් කී දෙනෙක් කියලද, අර සීසර් හමුදාවෙ නම් මතක තියාගත්තට අපිට බැහැනෙව ඒව කරන්න.

"ඔව් එයා තමයි, ඔයා කවුද?"

පොඩි විරාමයකට පස්සෙ.

"මම S***** . . "

"ම්ම්ම් මතකයක් නෑනෙ, අපි අඳුනනවද?" (කියන්න බෑනෙ, පරණ ලෙඩ වාට්ටුවක්ද කියල)

"රනිල් කියන්නෙ මගෙ අයිය"

මළලසේකරයි....... අර ලස්සන පුංචි ගෑස් බෝම්බෙ මට කෝල් කරනව, නම්බර් එක ලැබුනෙ කොහොමද, කථාකරන්න හිතුනෙ ඇයි අනං මනං ප්‍රශ්ණ කෝටියක් හිතට ආවත්.

"ඉතින්"

"ඉතින් නෙමෙයි, Congratulations !.."

හුටා.. ඒ කියන්නෙ මේකි කථා කරන්නෙ අභාග ප්‍රථිපලේ ගැන. යන්තම් ටිකිරි මොලේට තේරුනා මෙයා ගෑස් දැම්මට ඇලට් එකේ ඉඳල තියෙන්නෙ කියල.

"හ්ම්. කොහොමද දැනගත්තෙ?"

"ඒවා වැඩක් නෑනෙ, පාටියක් ඕනෙ..." දැන් නම් හීනි ලැජ්ජා හඬ වෙනුවට අර පුරුදු කිචිබිචි සද්දෙ.

කොහොම උනත් කෙල්ලෙක්නෙ කථාකරන්නෙ, මොලේ අපහාස/මල් කොටස ස්ටාට් උනා රැල් බුරුල් ඇරගෙනම.

"පාංවාටි තමා දෙන්න වෙන්නෙ. ඒක නෙමේ ප්‍රශ්ණයක් අහන්නද?"

"මොකක්ද?"

"ඔයාලට මාර ටෙලිෆෝන් බිලක් එනව ඇතිනෙ?"

"ඒ කිව්වෙ?"

"ඇයි දැන් ඔයා දකින හැම කොල්ලෙක්ටම කෝල් කරලා විශ් කරනවනෙ"

"අනේ යන්න... මට කෝල් කරන්න වෙන කොල්ලො නෑ.." එක්ස්ප්‍රස් එකේ කියාගෙන ගියා එදා ඩෙස් පෙරලපු දවසෙ වගේම.

අබ සරණයි.... එහා පැත්තෙන් සද්දයක් නෑ, කටින් පිටවෙච්ච වචනෙ ආපහු අදින්නයැ? මට මැරෙන හිනා ඒක කටින් පිටවෙච්චි විදියට

විනාඩියක් විතර ඉන්න ඇති.

"ඉන්නවද?"

"හ්ම්?"

ස්වරය අවුල්. ෆෝන් එක තියන්නද මන්දා.. දැන්නෙ මතක් උනේ මෙයත් අපේ වයසෙ කියල. අපිත් දැනගන්න එපාය කෝල් කරන මිනිස්සුංගෙ රිසාල්ට්ස්.

"කොහොමද ඔයාගෙ"

"වරදක් නැහැ"

වරදක් නෑ කිව්වෙ පෙරේත පාදෙන් යන්තමට පාස් ඇත්තෙ, ඒ දැකපු දාංගලේ හැටියට විභාගයක් ලියන එක නෙමේ වාඩි වෙලා ඉන්න එකත් ලොකු දෙයක්. පව් ඉතින්. කොච්චර උනත් ලස්සන කෙල්ල. පොඩි දුකක් වගේ නාවමත් නෙමේ.

"වරදක් නෑ කිව්වෙ කියන්න බැරිම වගේද?"

"එහෙමම නෑ අනේ"

"කියනවාකො අයිසෙ, මොකද ඔච්චර ගණන්" (දැන් නම් මටත් මළ, ඇයි යකෝ ඇලට් එකත් වැය කරලා ෆෝන් එකේ එල්ලිලා ඉන්නෙ, ෆෝන් එකේ සද්දෙත් එලියට ඇහෙනව, අම්මට එහෙම ඇහුනොත් හින්ට් ලෝකයයි.

"A8යි B1යි"

හුටා.......

බීප් ... බීප් .... බීප් .... බීප් .... බීප් (එහාපැත්තෙන් කට් කරලා)

Saturday, February 5, 2011

අනේ ප්ලීස් ඔයා බොන්න එපා......

මම කලින් පෝස්ට් එකේ කිව්වනෙ අපෙ මිත්‍රයෙක්ගෙ ගෙදර සෙට් වෙච්ච හැටිත්, අර ලස්සන පුංචි කෙල්ල උගෙ නංගි කියල හොයාගත්ත හැටිත්?, දැන් එතැන් සිට.....

සෙට් එකම ආයෙත් සාජ්ජෙට ආපු නිසා ඔක්කොටම සිද්ධිය අමතක උනා, ලුණු දැම්මෙ නෑ කිව්වට ඔම්ලට් එක මාරම රසයි, ගෙදර තිබිච්ච හැමදේම දාලාද කොහෙද.

දැන් කට්ටිය බලනව ඇති බොන සෙට් එකක් එක්ක තනි කෙල්ලෙක් කොහොම හිටියද කියල. අපි සෙට් එක එකතු උනෙත් ඔන්න ඔය හින්දයි, සමහරු බොන්න/ෆන් ගන්න ගියාම ඕනෙවට වැඩිය ගිහින් තියෙන ෆන් එක නැති කරගන්නව, එක්කො ඔක්කොම අමතක කරල මොනව හරි අලුගුත්තේරු වැඩ කරනව, ඔහොම උන් දිරවන්නෙ නැති අය තමයි එතන ඔක්කොම වගේ හිටියෙ. සෙට්‍ එකේ එකෙක්ගෙ සහෝදරියක්, කෑල්ලක් (කෑල්ල කීවෙ other half එක ;) ) හරි බිරිඳක් හරි තමන්ගෙම සහෝදරියක් විදියට සලකන්න බැරි කෙනෙක් හිටියෙ නෑ. (බෝතලේට සිහිකල්පනාව නැතිව යනව කියන එක නම් මම පිළිගන්නෙ නෑ, කොච්චර වෙරි උනත් හොඳ නරක තේරුම් ගන්න ඕනෙ නම් තේරෙනව. ප්‍රශ්නෙ තියෙන්නෙ ඒක ඕනෙකමින් අමතක කරන එක) ඒ තරමට අපි අතරෙ මාර විස්වාසයක් තිබ්බ, ඒකයි රනියා අපෙන් අපිව එක්ක ආපු එකට බැනුං ඇහුවෙ.

"මචං ඔම්ලට් එක ඉවරයි ඉතුරු බාගෙට තව මුකුත් නැද්ද බං..."

"හිටපං." "චූටී..... අනේ පැටියො තව මොකක්හරි හදන්නකො.... "

කුස්සිය ඇතුලෙන් "හදල දෙන්නම තමයි වටින්නෙ.... මගෙන් අහගන්න එපා හරිද.."

රනියා "බලපං බං, අම්මට කියල හදාගන්න තිබ්බ මේකිට කියනවට වඩා ලේසියට... වඳින්න ඕනෙ මොකක්හරි කරගන්න... "

"ඔය ප්ලේට් එක ගෙනත් අරගෙන යනවලා... හදලා ඉවරයි..." කුස්සිය පැත්තෙන් සද්දෙ ආයෙමත්.

ඒ වෙලාවෙ ග්ලාස් එකක් අතේ නොතිබුනෙ මම හින්දා හරි වෙන මොකක් හින්දා හරි මම ප්ලේට් එක අරගෙන නැගිට්ටා (නැගිටුනා =) ).

කුස්සියට යනකොට අර පුංචි කෙල්ල මොනවාද එළවළුවක් කපනවා, හයියෙන් හයියෙන් කැපුවෙ හරියට කාත් එක්ක හරි තරහෙන් වගේ. පැන්ට්‍රි එකටත් යාන්තමටයි උස ;)

"ඔන්න තියෙනව අරං යන්න.... "

මාත් ඉතින් හදල තිබ්බ දේ ප්ලේට් එකට දාගෙන හැරුන. දොර ලඟට යද්දි

"මේ......" හීන් හඬක්, කලින් කෑගහපු කෙනාද කියල හිතන්නත් බෑ..

"ඇයි?" මම ආපහු හැරිල ඇහුවෙ හොඳ බැනුමක් බලාපොරොත්තුවෙන්.

"අනේ ප්ලීස් ඔයා බොන්න එපා.... " එළවලු කපන එක නවත්තන්නෙ නැතුවම ඔලුව පහත් කරගෙන කිව්ව.

මට කන්දෙක විශ්වාස නැති නිසා. "මොකා?"

"ප්ලීස් මං කියන නිසා වත්...."

"ඔයා මගෙ කවුද එහෙම කියන්න." යන්තම් මගෙ කටටත් පණ ආව (ඩිබෙට් ටීම් එකේ අවුරුදු 3ක් කට්ට කෑවෙ නිකංයෑ, හැබැයි ඒ සායමත් දිය උනා, පස්සෙ)

එයා හෙමින් හැරිල යාන්තම ඔලුව උස්සල මගෙ මූණ බැලුව, ඇස් දෙකේම කඳුලු පිරිල. මහ අමුතු විදියට තත්පර කීපයක් මං දිහා බලාගෙන ඉඳල මොකක්ද කියන්න වගේ ඇවිත් එකපාරටම මගෙත් ඇඟේ හැපීගෙන දුවල පඩිපෙලත් නැගල උඩ තට්ටුවෙ කාමරේකට ගිහින් දොර ලොක් කරගන්නව ඇහුන. සමහර චිත්‍රපටි නාට්‍ය එහෙමවලත් ඔහොම කෑලි තිබ්බට ඒක ඇත්තටම වෙන්න ඕනෙ ඒ ශොක් එක දැනෙන්න.

තෝන්තුවාවෙන් වගේ ප්ලේට් එක ගෙනත් තියලා, මමත් අයිනක් ගහන් හිටියා, ග්ලාස් එක ආයෙ අතට ගන්නවත් හිතුනෙ නෑ ඇත්තටම. වෙච්ච දේ තාම හීනයක් වගේ.. ඇයි යකෝ මේකි එන්නෙම හරහටනෙ, හම්බවෙන හැමදාම මොකක්හරි මගුලකට නෝන්ඩි වෙනවා මම. :(

පැය බාගෙකට විතර පස්සෙ ගෙදර ෆෝන් එක රිං උනා.. රනිය ගිහින් රිසීවර් එක ගත්ත. සවුන්ඩ් වැඩි නිසා එලියට ඇහෙනව කියන දේ..

"කෑම හදල ඇති කුස්සියෙ, ඔය ඌරු රැල එක්ක ගිහින් ගිල්ලවන්න..." අරූගෙ මූණ දෙක උනා. ඇයි සෙට් එකටම ඇහුනනෙ කියපු එක.

"හරි අපිනෙ ඌරො, යමං ගිලලා එන්න.." එකෙක් කෑගහුව ඇහෙන්නම.

කුස්සියට ගියාම තමයි අපිට තරු පෙනුනෙ. එක එක කෑම ජාති 10ක් විතර හදලා, මාළුද , පලාද, වම්බටුද ගෙදර තිබිච්ච හැම ජාතියම වගේ, වැඩියෙනුත් එක්ක. අර අඩි හතරක් උස නැති කටු අත්ත මේ ඔක්කොම ඒ පොඩි වෙලාවෙ කලාද කියල හිතාගන්න බෑ කොහෙත්ම.

"ඒ රනියා උඹලැයි ගෙදර භූතයෙක් හරි අතුල්ලන ලාංපුවක් හරි ඉන්නවද බං."

"ඒ මොකෝ?"

"නෑ බං අර බටු ඇට දෙකක් උස නැති උඹලැයි නංගි කෝමද බං මෙච්චර දෙයක් මවන්නෙ? දන්සැලක් දාතෑකිනෙ"

කෑම ටික නම් මාරම රසයි (කන්න බෑ කිව්වොත් ආයෙ කිරිහොද්දක්වත් හදාගෙන ඉවරයි ;) ) කොහොම හරි කෑම නම් ඉතුරු උනේ නෑ, කන්න බැරි පුතයලා සෙට් එකක්නෙ කෝමත් ගියේ.

කට්ටියම 4ට කලින් වාහන බාර දෙන්න ඕනෙ හින්ද යන්න පිටත් උනා, නංගි තනියම නිසා රනිය නැවතුනා ගෙදර.

"ඒ අපි යනවා.... කෝ නඟාට ටිකක් එලියට එන්න කියපංකො ස්තූතිපාරක්වත් දාන්න"

"ස්තූති නැතුවට කමක් නෑ, කෑවනං බීවනං යන්න කියන්න අයියෙ... " (උඩ තට්ටුවෙන් සුපුරුදු කටහඬක්)

"හපෝ මේකිගෙ ගෑස්" "නංගී..... ඉක්මනට උස යන්න නම් තරහ අඩු කරගන්නවෙයි හොදේ...."

අපි යනවා......


පලි : එදා එහෙම කියපු හේතුව අදටත් මම දන්නේ නැත. කොහොම හරි අයියාකාරයාගෙන් විස්තර අහල තියෙනවා නොදැනෙන්නෙ, අපේ එකා ඉතින් හොඳක් කියන්නෙ නෑනෙ. කියන්න දේකුත් නෑ. කාඩ් කුඩු..

උයන ස්පීඩ් එකේ රහස නම් පස්සෙ කාලෙක දෑසින් දුටුවෙමි.

සෙට් වීම .......

OL විභාගෙත් ඉවරයි. (දෙවෙනි පාර ගණන් පේපර් එක එන්න කලින්)

දැන් පිස්සු නටන කාලෙ.අතේ පයේ පොඩි ඇම්මක් නිසා ඒ දවස්වල ආරක්ශාවට සම්බන්ධ අංශයක පොඩි කෙරුවාවක් කලා, නිකම් කාලෙ නාස්ති කරන්නත් බෑනෙ. ඔතන පුහුණුවෙදි අපි 20ක් විතර එක බඩවැල කඩාගෙන ආපු සහෝදරයො ගානට ෆිට් උනා, එයින් එක්කෙනෙක් තමයි රනිල් කියන්නෙ (ඇත්ත නමම දැම්ම, ඌ කවද හරි බලයි නෙ) පිස්සුම හාදයෙක්, බඩු කාපර් , බොන්න නම් බෑ බෝතලේකට මෙහා.

ඇත්තටම කරන්න තරම් රාජකාරියක් තිබුනෙ නැති නිසා ගොඩක් වෙලාවට කලේ ආයතනේ වාහනයක් මොකක්හරි ජිල්මාට් එකක් දාලා උස්සලා කොහෙ හරි ගිහින් සෙට් වෙන එක තමයි. ඔක්කොම එකා වගේ එක වචනෙට හිටිය නිසා එතනින් අයින් වෙනකනුත් ආයෙ බැඳෙනකනුත් කිසිම ගැටළුවක් උනේ නැහැ.

එදා සෙට් වෙන්න කියලා වාහන දෙකක් පන්නගෙන ආවට මොකද හෙණම වැස්ස, අපේ කවුරුවත් ඔය රෙස්ටුරන්ට් එකකට ගිහිල්ලා වාඩි වෙලා ෆෝක් එකෙන් බයිට් කන ජාතියෙ උන් නෙමේ. මැක්සම ෆන් එකක් වැස්සන නිසා අවුල් උන නිසා හැමෝම හිටියෙ අවුලෙන්, මොකෝ වාහනේ ඉඳං බොන්නයැ?.

වාහනේ එලෙව්වෙ රනිල්, කොහොමත් මිනිහ ට්‍රාන්ස්පෝට් එකෙන් එලවලා තිබ්බෙ, හප්පන වාහන ගාණ වැඩි නිසා ;). මිනිහ කියපි.

"මචංලා අද අපෙ ගෙදර කවුරුත් ඉන්න විදියක් නෑ, එහෙ සෙට් වෙමු."

"එතකොට බයිට් එක"

"එහෙන්ම හදාගමු බං"

ආයෙ අපි මොනව කියන්නද, ඌට හොඳනං මොකද කියල අපිත් ගියා.

ගාල්ලෙ අධ්‍යාපන කලාපෙ ටිකක් ඇතුලට වෙන්න ටිකක් "පොශ්" උං ජීවත් වෙන පැත්තකට ඇවිත් තට්ටු තුනක ගෙදරක මිදුලෙ නැවැත්තුව අපි. උංගෙ ගෙදර කීවට තාම අපිට විශ්වාස නෑ.

"අම්මටහුඩු.... මේකද බං උඹලැයි බවන...... ෆට්ට ඈහ්... කලින් ආත්මෙ බැංකුවකටවත් ගේමක් දුන්නද බං?"

"කෑ ගහන්නැතුව වරෙං හු%@%@$%. වටේ උන්ට මීටර් උනොත් වසලා හමාරයි..."

වටේම සද්දන්ත ගෙවල් දෙකක්, අපි කරකවලා අතෑරියා වගේ.... කොහොම හරි ගෙනාපු දේවල් සාලෙන් තියලා, ටීවී එකත් දාලා. කට්ටියම පටං ගන්න හැදුවෙ.

"කෝ යකෝ බයිට්... තොගෙ ඇ*දෙක තම්බල හරි ගෙනෙන්...දෙනවා කිව්වානෙ"

"හා හා ඉඳපං...."

අරූ ඇතුලට ගිහින් කාත් එක්කදෝ කථා කරනවා, ඇහෙන්න උගේ කටහඬ විතරයි. කොහොම හරි වඳින්න වගේ කථා කරලා කථා කරලා කැමති කරගත්ත වගේ දැක්කෙ. (වැන්දෙ නැතුව විතරද කොහෙදෝ). අපි හිතුවෙ අම්ම හරි අක්ක හරි කෙනෙක් කියලා...

අපිටත් මොකද ඉතින්, එදා තිබ්බෙ එච්චරම බොන්න අපහසු එකක් නෙමෙයි නිසා හැමෝම බයිට් නැතුවම පටං ගෙන තිබුනෙ.

"හරි මචං වැඩේ ගොඩ, ටිකකින් ලැබෙයි..."

අපිත් ඉතින් හම්බ කුණුහරුප විද විද ෆුල් ආතල් එකක් ගත්තා, කාටවත් වැදිල නැති උනත් පොඩියට සාජ්ජයක් පටං ගත්ත...

සෝභාවතේ මෙපුර සිරි විසිතුරු බලනු මිතුරු මගපියකරු වු..... ආ ආ ...ආ ආ. ටැං ටැං පැං පැං.....

එකපාරට

"සලාං.........."

පිඟානක් පොලොවෙ ගහන සද්දයක් ආවා, මෙන්න ටීපෝ එක උඩ ලොකු තැටියක පුරවලා දුං දාන තඩි ඔම්ලට් එකක්.

"ඔන්න..... ලුණු දැම්මෙ නෑ, තමුසෙලම දාගන්නවා....." කියල කවුදෝ ආපු වේගෙන්ම ගස්සගෙන ගියා

දෙයියනේ, අර පුංචි කෙල්ල....

මගේ යන්තම් වැදිලා තිබ්බ ටිකත් එකපාරට බැස්සා, හීනෙන්වත් නොහිතන වෙලාවක ලෝකෙ එතන ඉඳී කියල හිතන අන්තිම කෙනා දැක්කාම. ඒක පැත්තකින් තියමු, දැන් ඉතින් කාඩ් කුඩේකුඩු නෙ.

නිකං ලෝකෙම ෆ්‍රීස් වෙලා වගේ.......

අතේ තිබ්බ ග්ලාස් එකත් ආපහු තිබ්බා, තියල එයා ගිය දිහා කට ඇර ගෙන බලාගෙන හිටිය වගේ මතකයි..

"ඒ රන්නා ..... කවුද බං අර කටු අත්ත?...." අපේ එකෙක් ඇහුවා (සොරි බං මොකාද කියල මතක නෑ)

"ඒ මගෙ නංගිපොඩ්ඩ බං.... " රනියා ශොට් එකක් දාගන්න ගමං කිව්ව.

"අඩෝ චාටර්නෙ බං, අපිනං අවුලක් නෑ, උඹ ඔහොම බොන්න සෙට්‍ එක්කං එනවද යකෝ සහෝදරියො ඉන්න තැං වලට? උඹ මහ ක@%##@යෙක්නෙ.."

"හපෝ ඕකිද, ඕකිගෙන් පරිස්සං වෙන්න ඕනෙ අපි බං. පුළුවන්නම් විනාඩියක් කථාකරල බලපං"

"දන්නව දන්නව" මට කියැවුන

අරූ එකපාරට හැරිල " අඩෝ @$@$@#$ ඒ කෝමද...."

"නෑ මචං මේ......................"

Friday, February 4, 2011

දෙවෙනි හමුව......... සම්මන්ත්‍රණය දා...

ඒ සිද්ධිය හෙමිහිට අමතක වෙලා ගියා තිබුන වැඩ රාජකාරිත් එක්කම. ඒ වෙනකොට OL විභාගෙත් ලංවේගෙන ආව. සෑහෙන්න කාලයක් පිස්සු නට නට හිටපු කට්ටියටම පොඩ්ඩක් බරක් පතලක් තේරෙන්න ගත්තෙ විභාගෙට හොඳටම ලං උනාම.

හැමෝම දන්නවනෙ ඒකාලෙට තියෙන අර සම්මන්ත්‍රණ තොගය, අර සර් කියයි මේ සර් කියයි. ගොඩක් ඒවා නොමිලේම තිබ්බ නිසා ඒ අයගෙ පන්ති යන අයත් මොනම පන්තියකටවත් නොයන අපි වගේ අයත් ඒවාට ඉස්කෝලෙත් කට් කරගෙනම යැවුනා. ඇයි ඉතින් හොඳ කෑලි බහිනවා නෙව. සිංහල ඉංග්‍රීසි කෙසේවෙතත් බයෝ (විද්‍යාව 6 හෝ 11 වෙනි පාඩම) වත් ගොඩදාගන්න බැරිය කියල ;)

කෝමින් කෝමින් හරි ඒකාලෙ විඳ්‍යාවට (ද සිංහලද මන්දා, මතක නෑ) ප්‍රසිද්ධ 'සර්' කෙනෙක්ගෙ සම්මන්ත්‍රණයකට අපි කඩා පාත් උනා... ගිය වෙලාවෙ ඉදල ආයෙ වෙන මොනවද, ගොඩ ගිහින් හිටපු උන් ඒවාට ඇහැ දාගෙන, නිදහස් උං (අපි) අන්තිම පේලියට වෙලා ෆුල් විකාර කර කර හිටියා.කීප දෙනෙක් ඉතින් මඳ පමනින් මොනවාදෝ කරගෙනත් තිබුන නිසා ෆන් එක ඩබල්... මොකෝ සර් ලෙඩේ දානව කියලයැ.

"දඩාස්......."

කෙල්ලංගෙ පැත්තෙන් ආපු සද්දෙට පන්තියම මීක් නැ.... ඒත් තත්පරේකට විතරයි.. ඊට පස්සෙ පන්තියම හිනා සාගරේ.. කෙල්ලන්ගෙ පැත්තෙ මුල්ම පේලියෙ ඩෙස් එක බිම, පොත්පත් සීසී කඩ, අපිටත් ඉතින් තව වෙන මුකුත් ඕනෙ නෑනෙ, ආයෙ පන්තිය යථාත්වෙට ගන්න බැරි වෙන්නම කස්ටිය හිනා වෙනවා.... හූ කිය කිය හිනා වෙනවා, බිම පෙරලි පෙරලි හිනා වෙනවා..

අපි හිටියෙ අන්තිම පේලියෙ උනාට පිහීටීමෙ හැටියට කෙලින්ම කෙල්ලංගෙ ඉස්සරහ පේලිය පේනවා, සර්රුත් ඉතින් දමාගෙන බයිට් කරනව පේලියම. කියන කට කැඩිච්ච කථා ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙ නෑ නේද?. කෙල්ලො දෙන්නෙක් යන්තම් දනි පනි ගාලා ඩෙස් එක කෙලින් කලා, දැන් සර්ගෙ බයිට් එක යොමුවෙන්නෙ ඒ පේලියෙ එක කෙල්ලෙක් දිහාට බව තේරෙනව, ඒත් පේන්නෙ නෑ හරියට කවුද කියල. ආපහු ඒක සංසුං උනා කියමු.... සැරින් සැරේ පොඩි බයිට් පාරවල් මිසක් ඊට පස්සෙ සීන් එක ඇදුනෙ නෑ, කරන්න (සර්ට කරවන්න) වැඩ තිබ්බ හින්ද.

ඉන්ටවල් එකත් ඉවර උනා.. එතකොට කාටත් වැඩේ අමතක වෙලා තිබ්බෙ, අපිත් එලියට ගිහින් ඒකාලෙ 15ද 18ද කොහෙද වෙච්ච රත්තරං දෙයක් අරගෙන බඩ පුරවගෙන ආව. දැන් කට්ටියම වාඩි වෙලා, ටිකක් සෙනග මිසිං. සර්රුත් මයික් එක හද හදා ස්ටේජ් එකට නගිනව...

"දඩාස්.......!"

තත්වය සෝචනීයයි..... ආයෙත් ඩෙස් එක පෙරලගෙන, කොල්ලො හූ කිය කිය හිනා වෙනවා.... ටිකක් වැදිච්ච වෙලාවනෙ. හූ....

සර් (ඉස්සර ඩෙස් එකේ කෙල්ලෙක් දිහාට ඇගිල්ල දික් කර) " තමුසෙ ඔතන වෙන ව්‍යාපාරයක් වගේ, ගිහින් අර පැත්තෙ ඩෙස් එකෙන් වාඩි වෙනව "

(ක්ලාස් එකේ ඔක්කොම ඩෙස් ඉස්සරහට මූණදාන අතරෙ එකම එක ඩෙස් එකක් හරහට දාලා තිබුනා ඉස්සරහ, ක්ලාස් එක පැවැත්වෙන කාලෙ පරක්කුවෙලා එන උන් වාඩි කරවන්න වෙන්න ඇති,)

අර කෙල්ලත් බිම බලාගෙන පොත්ටික තුරුලු කරගෙන නැගිටලා, ගිහින් කියපු ඩෙස් එකේ වාඩි උනා..

හත් දෙයියනේ.....

මේ අර පුංචි රතිඤ්ඤකරල නේද?

සුදු මූණ ජම්බු ගෙඩිය වගේ රතු වෙලා, ඇස් දෙකත් කඳුලු හැලෙන්න ඔන්න මෙන්න.

සර් " ඔය ඩෙස් එකවත් කෙලින් තියාගන්නව, නැත්තම් ඊලඟ පාර බිම තමයි වාඩි වෙන්න වෙන්නෙ "

සර් ආයෙත් උගන්නන්න ගත්ත. උගන්නව කීවට අපේ අතේ තියෙන ටියුට් එකේ ප්‍රින්ට් කරපු වචන කියවන එක තමයි කරන්නෙ.

මං ආයෙත් අර කෙල්ල දිහා බැලුවෙ, කොහෙද එතන ගිහිල්ලත් ඉන්න බෑ, ඉස්සරහ පේලියෙ උනුත් එක්ක විකාර කරනව, හිනා වෙනව, එක යුද්ධයයි. කලින් කිසි දෙයක් නොවුනා වගේ, සර් බලනකොට සාන්ත දාන්ත.. අහක බැලුව ගමන්..... කොල්ලොන්ටත් අන්තයි . මම නම් හිතුවෙ ඒ ඩෙස් එකත් අනිවා පෙරලගනී කියල.

අපේ එකෙක්ගෙ කොටසක් (කෑල්ල) බලන්න ඕනෙ කිව්ව හින්ද අපි ටිකක් පන්තියට යන පාරෙ තාප්පයක් වැටෙන්න නොදී අල්ලගෙන හිටිය. කෙල්ලො එලියට එන්නෙ පස්සෙ නෙව.

ටික වෙලාවකින් මෙන්න අර පුංචි කෙල්ල එනවා යාළුවෙකුත් ඇදගෙන, ඇදගෙන කිව්වෙ ඒකි ඇවිදින්නෙත් හරියට මීටර් 75 දුවන්න වගේ. අපේ ඉස්සරහින් යනකොට ඉතින් කට නිකං තියාගෙන ඉඳල හරියන්නෙත් නෑනෙ. අනික මගෙත් ඇරියස් එකක් තියෙනවනෙ.

මම "ස්.. ස්... මේ .... ඕයි ඊලඟට පෙරලන්නෙ මොකක්ද? " (මොකක්ද කියන වචනෙ පොඩියක් වෙනස් වෙන්න ඕනෙ, මෙතන මිස්ටර් ඇන්ඩ් මිසිස් සදාචාර ලා එන නිසා වේරියබල් එකක් දැම්මෙ, හිතේ හැටියට දාගන්න)

එයා ගල් උනා වගේ නැවතුනා.. හෙමීට හැරුනා, " නෑ තමුසෙගෙ _ _ _ _ _ _ " "යං අනේ යන්න...." කියල අනිත් කෙල්ලත් ඇදගෙන ගස්සගෙන ගියා...

මට පොල්ලෙන් ගැහුවා වගේ හැඟීමක් ආවෙ.. අනන්තවත් කෙල්ලන්ට අනං මනං කියලා තිබ්බට මෙච්චර කල් වෙලා තිබ්බෙ එක්කෝ කෙල්ල මූණ රතුකරගෙන දුවනවා, නැත්තම් කොල්ලා එනවා හෝ ඒ දෙකම, ඒත් කවදාවත් මෙහෙම ක්ෂණික රිටන් එකක් ලැබිල තිබ්බෙ නෑ..

අපේ එකෙක්.. " ඇද්ද තොට අහක යන කි***ල් අස්සෙ රිංගන්න ගියාට? "

Thursday, February 3, 2011

ප්‍රථම හමුවීම........ [ඒ හින්දා යලි සෙනෙහෙ සිතින් අපි]

[වසර දෙකකට පමණ පෙර]

එදා අන්තිම සාමාන්‍ය දවසක්, සුපුරුදු පරිදි පරක්කුත් වෙලා. ඉස්කෝලෙට ගියා විතරයි කඩාපාත් වෙච්චි මහ හෙණයක්.....

ටීචර් : "ළමයි අද අහවල් ඉස්කෝලෙ ලමයි එනවා විසිට් එකකට, කාඩ් එකනම් කන්න එපා පැණි හලන්න ගිහින්..."

ආ කියන්න අමතක උනානෙ, ඒ දවස් වල ඉස්කෝලෙ මාධ්‍ය ඒකකයෙ, සිංහලෙන් කිව්වොත් මීඩියා යුනිට් එකේ ක්‍රියා කාරී සාමාජිකයෙන් නෙව මං, ලංකාවෙ පාසැල් වලට පහසුකම් ගොඩා..ක් වැඩි නිසා මාධ්‍ය ඒකක වලටත් තිබුනා හුවමාරු පුහුණු ක්‍රමයක්. මතක නෑ මොකක්ද හේතුව කියල, කොහොම හරි පහුවදා මොකක්හරි ඒකබද්ධ ඉවෙන්ට් එකක් තියෙන්න තිබුනා ඉස්කෝල දෙක අතරෙ.

අපේ ඉස්කෝලෙ, දකුණු පැත්තෙ අග නගරෙ ටිකක් ප්‍රසිද්ධ (නොටෝරියස්ලි) එකක්, වැඩියෙන්ම ප්‍රසිද්ධ අපිට අඩි 8ක් දුරින් තියෙන අපේ සහෝදරි පාසැල තමයි, හැබැයි අපේ නෑනෙ ඔය වැඩි බජනයක් එහෙම උන්දැලත් එක්ක. 'සවුත්තු' 'බිමක්' නෙ. කොච්චර උනත්.

එදා එන්න හිටපු ඉස්කෝලෙ පලාතෙ තියෙන ටිකක් ප්‍රසිද්ධ මිශ්‍ර පාසැලක්.ඒ හින්දා අපේ කොල්ලංගෙනුත් එච්චරම විශේෂයක් තිබුනෙ නෑ මොකද ඔය මිශ්‍ර එව්යෙ හොඳ ඇහැට කණට පේන එකක් හිටියොත් ඇත්තං කලින්ම වෙන් කරගෙනනෙ. කලින් පාර ඔහොම එකක් ගැන බලන්ට ගිහින් හොඳ මිහිරි මතකයන් මීඩියා සෙට් එකටම තිබුන නිසා මේ පාරත් දැකලා අහකබැලීමේ ප්‍රතිපත්තියක් තමා තිබ්බෙ. පස්සෙ බැරිය ආවර්ජනා පාරක් දාන්න ;). හැබැයි ඒ එන ඉස්කෝලෙ යුනිෆෝම් එකද (තද නිල් සහ සුදු, දැන් ගෙස් කරන්න හැදුවොත් මරණවා....) වෙන මොකක්හරිද මන්දා ගෑණු ලමයි සෑහෙන්න පැහැපත් පාටයි. (ඒ දවස් වල හිතුන හැටි, පස්සෙනෙ දන්නෙ සීන් කෝන් එක)

දැන් ඔන්න කස්ටිය සම්ප්‍රාප්ත වෙන වෙලාව, කිරි ෆාදර්ට ඩෝග්ස් ලා ජම්පිං කිව්වලු, කෙල්ලො 10ක් විතර කොල්ලො දෙන්නෙකුයි මිස් කෙනෙකුයි එක්ක එවලා, මිස් නම් කෙලින්ම කඩේ දාගත්ත අඳුනන අයත් එක්ක, කොල්ලො දෙන්නත් පුරුශ හා කාන්තා අතර මැද වගේ ඩයල් දෙකක් හින්ද කෙල්ලොන්ටත් වඩා හිරිඔතප් බිඳෙනවට බයේ වගේ හිටියෙ. අපේ අයියලා ඉතින් ඉස්කෝලෙ ඉන්නෙත් සීබාත් එකේ, ස්ටැන්ඩ් එකේ, P&G එකේ ඉන්නවා වගේනෙ, බය නොවුනොත් තමා පුදුම... (මෙහෙම කියන්නෙ ඉස්කෝලෙට කරන අපහාසයක් හැටියට නෙමෙයි, ඒකාලෙ තත්වෙට වඩා දැන් සෑහෙන්න හොඳ නිසයි, අනික ආණ්ඩුවෙන්ම අපේ ඉස්කෝලෙ ඒ කාලෙ කල්ක්‍රියාවට ගැලපෙන අකුරු 3ක් නමට පස්සෙන් දාලා තිබ්බෙ)

බැක්ටු කථාවට

අපි ඊට ටික කලකට කලින් රූපවාහිනී සංස්ථාවෙ පුහුණුවකට ගෙහුං හිටියෙ (ආන්න මතක් උනා ඉවෙන්ට් එක ;) ) ඒකෙ කියල දුන්න ඒවා අපේ කස්ටිය මඳ පමණින් ඇඩ් එක දදා කියලා දෙනවා ආපු අයට, ඇත්තම කීවොත් ටිකක් යනකොට අර කලින් මිහිරි අත්දැකීමයි අද ආපු කොල්ලො දෙන්නයි හැමෝටම අමතක වෙලා තිබුනෙ, මම නම් ඉතින් වැඩිය ඇඩ් වෙන්න ගියේ නෑ හේතු තුනක් උඩ.

1 එතන සැලකිය යුතු නිළයක් හින්දා කාඩ් එක රැකගැනීම පිළිබඳ ගැටළුවක් තිබුන.
2 ටිකක් දුර ගිය ලදරු ක්‍රශ් එකකින් සපත්තුවක් වැදිලා මහ කාලයක් ගිහින් තිබුනෙ නැහැ. කෙල්ලෝ එපාමයි කියල වගේ අදහසකින් හිටියෙ, දන්නැද්ද ඉතින්... ;)
3 කලින් මිහිරි අත්දැකීම හින්දා ටිකක් පරිස්සම් වෙන්න එපැයි කොහොමත්....

මල්ලිලා සෙට් එකට පොර වෙන්න දීලා මම හෙමිං ගියා අපේ ලියුං කියුං තියල තිබ්බ මේසෙ පැත්තට, මොනවද මන්දා කුරුටු ගාන්න තිබුන වගේ මතකයි, තඩි මනෝපාරක් ගහගෙන ඒක වැඩේ කර කර හිටිය..

එක පාරටම

"මොනාද හලෝ.... මීඩියා එකේලු හැංගිලා කුරුටු ගානවා...... ඔහොමද සලකන්නෙ එන අයට?"

මම උඩ ගිහින් බිම වැටුන, දෙපැත්ත බැලුව කවුරුත් නෑ, පිටිපස්ස බැලුවාම මෙන්න 8 වසරෙ විතර පෙනුම තියෙන ලස්සන පුංචි කෙල්ලෙක් එක අතක් ඉණට තියාගෙන අනිත් අතෙන් මොකක්ද කොලයක් අල්ලගෙන ඉන්නව.

මම "නෑ මේ......"

එයා "නෑ තමයි.. (ඇස් දෙක ලොකු කරගෙන) මොකද යකෙක් දැක්ක වගේ?.. මෙන්න මේක ඔයාට කියල ලියාගෙන කරගෙන එන්න කිව්වා ටීචර්.. "

මට තාමත් හොල්මං වගේ, ලොකු මනෝපාරක් ගහ ගහ ඉඳල ඒක එකපාරට බිඳිල ගියාම ඇතිවෙන තෝන්තු ගතිය දන්නවා නේද. ඒ තරහත් එක්කම වැඩේ කරලා මූණවත් නොබලා කොලේ ආපහු දුන්න.

මම "ආ.."

එයා (කොලේ උදුරගමින්) "මෙහෙ ඉන්නෙ හරිම බුම්මට්ටයො ටිකක් තමයි...... අපි යනව"

කවදාවත් දැකලවත් නැති කෙල්ලෙක් එකපාරට එහෙම කියෙව්වාම, කියවලා විතරක් නම් මදෑ ඉස්කෝලෙටත් අපහාස කලාම හිතෙන දේවල් වෙනම කියන්න ඕනෙ නැහැනෙ?.

ඊට පස්සෙ තමයි මගෙ ඇහැත් එයා යන යන දිහාට යන්න ගත්තෙ, කොල්ලංගෙ ඉස්කෝලෙකට ආවා කියල නෑ, මාර දාංගලේ. නෙට් බෝල් ගහනවා වගේ සෙනග අස්සෙ එහාට මෙහාට දුවනව, යාළුවොත් එක්ක කිචි බිචි ගානව, ආයෙත් දුවනව. ආයෙත් කිචිබිචිය.

හැබැයි මර්ෆිගෙ නියමය නම් හොඳටම වැඩ කරනව වගේ පෙනුන, දාංගලේ වැඩිකමටම අපේ ඈම්ප් එක බිම දාන්නම ගියා, මයික් ස්ටෑන්ඩ් එක පෙරළුව. කොල ගොඩක් එක්ක ෆයල් එකක් හලාගත්ත. හරියටම ගත්තොත් අර Good Luck Chuck එකේ පෙංගුවින් බලාගන්න කෙල්ල වගේම තමයි.

සැරයක් දෙකක් යාළුවොයි ටීචර්යි වෝනින් දුන්නත් ඒ වෙලාවට විතරයි, ටිකක් යද්දි ආයෙත් දාංගලේ.

මේක බලං ඉද්දි මට අර කලින් ආපු තරහ නිවිල ඉවරයි, දැන් නම් වැඩ වලට හිනත් යනව, මම බලාගෙන හිටියෙ ආයෙත් තනියම අහුවෙනකං මට කියවපු කියවිල්ලට රිටන් එක දෙන්න. ඒත් ඒකි දැනගෙනද කොහෙද මාව පුළුවන් තරම් මඟ ඇරිය.

අර සමහරු කියන්නෙ දැකපු දවසෙම ආදරේ හිතුනා අනං මනං, මට නං එහෙම අදහසක් ආවෙ නැද්ද කොහෙදො ඒ වෙලාවෙ. මළම ඇණයක් & හම්බ වෙන කොල්ලාට අබ සරණයි කියන හැඟීම ආවෙ. (ආ තව මගේ කවුරුහරි උනා නං ඔලුව හිල් වෙන්න ටොක්කක් අනින්න ඕනෙකමකුත් තිබ්බ)

දැන් සෙශන් එක ඉවරයි, කට්ටියටම ස්තූති කථාපාරකුත් දාලා. කස්ටිය ආපහු යැව්ව.

දැන් අපේ සෙට් එක ආවර්ජනා පාරක් දානවා, කලින් මිහිරි අත්දැකීමට සම්බන්ධ පාර්ශවේකුත් අද ඇවිත් හිටිය නිසා ඒක තමයි සභාවෙ තිබ්බෙ. වැඩේ අනිත් පැත්ත ගහන්නත් එක්ක මම රාජකාරි වැඩ පටං ගත්ත

"මචං අරුංට එවන්න ලොකු උං නැද්ද, 10-11 නේද එවන්න කීවෙ. අනිත් පාර පැහැදිලිව කියල යවපං 8-9 එවන්න එපා කියල"

"කොහෙද හු$#%$ 8-9 හිටියෙ, ඔක්කොම අපෙ වයසෙ උං" ඌට මළ පැනලා

"නැහ්, එතකොට අර පොඩි එකෙක් හිටියෙ එහාට මෙහාට පැන පැන, අම්මප මං හිතුවෙ අදම දඩල්ලට හරි මහමෝදර හරි යවන්න වෙයි කියල" (දඩල්ලේ හා මහමෝදර වෙනස දන්නෝ දනිති)

"ඒ රතිඤ්ඤෙත් අපේ වයසෙ බං, හාපෝ මතක් කරන්න එපා..."

"හුටා....."

ඔන්න අපේ ප්‍රථම හමුවීම, පස්සෙ බස් එකේ ගෙදර එන ගමනුත් ඒකිගෙ දාංගලේ මතක් වෙලා හිනා යන්න ආව. හැබැයි වෙන හැඟීමක් නම් තුන් හිතකවත් තිබුනෙ නෑ, මටත් එහෙම සහෝදරියක් හිටියනං කොහොමට හිටීද කියල තමයි හිත හිත ආවෙ..

පලි : පසුව දැනගත් පරිදි, මම මූඩ් ගහලා පැත්තක ඉන්නව දැකල වෙන කෙල්ලෙක් දෙන්න ගෙනාපු කොලයක් උදුරගෙන ඇවිත් මට දීලා තියෙන්නෙ. හේතුව නම් කිව්වේ එහෙම මූණ එල්ලං හිටියාම එයාගෙ මැරිච්ච බල්ලෙක් මතක් උනා කියල. බල්ලා මලේ මොකද කියල නම් නොදනී.

Saturday, January 29, 2011

ඇරඹුම .....

ආයුබෝවන්....!

බ්ලොග් අවකාශයේ දැන් ටික කලකට කලින් ඉඳලා පැතිලිල ගිය රැල්ලක් තමයි ආදර කථා කියන්නෙ. සෑහෙන්න රසවත් සත්‍ය වගේම ප්‍රබන්ධ කථාත් ඕනේ තරම් ලියැවුනා (ලියැවෙයි ඉස්සරහටත්, මොකද ආදරය කියන්නෙ මූලික මිනිස් අවශ්‍යතාවක්නෙ ;) ) . ඊට වඩා වෙනස් දෙයක් බලාපොරොත්තුවෙන් මෙතැනට ආවානම් මුලින්ම මම සමාව ඉල්ලනවා.

මේ බ්ලොග් අඩවිය සම්පූර්ණයෙන්ම වෙන් වන්නෙ තවමත් මගේ කෙටි ජීවිතය ජීවත් කෙරෙව්ව ඒ හැඟීම වෙනුවෙන්.

දැනට පොඩි කොමාවක් (අපි අතරෙ නෙමෙයි, ඉස්සරට බලන්නකො ;) ) වැටිල තිබුනත් මෙතැන ලියැවෙන කථාව දැනටමත් ගලා යනව, ඒ නිසා සත්‍ය කථාව ප්‍රබන්ධයක් හැටියට ව්‍යාජ නම් ගම් භාවිත කරන්න සිදු වෙයි. මොකද ප්‍රධාන චරිත කිහිපයක් දැනටත් බ්ලොග් අවකාශයේ ක්‍රියාකාරී සමාජිකයන්.

පොඩි කාලෙ ඉඳලම හිතට ආවේගයක් ආවාම කාටවත් කියල හිත සැහැල්ලු කරගන්න පුරුද්දක් මගේ තිබුනෙ නැහැ. බොලඳ වෙන්න පුළුවන් ඒත් ගොඩක් වෙලාවට ඒ අඩුව පිරෙව්වෙ කොට්ටෙයි ජර්නල් එකයි විතරයි. ඒත් මේ සිද්ධි සම්බන්ධව නම් ජර්නල් එකවත් උදව් උනේ නැහැ. ඒත් හිත ඇතුලෙ ආවේගය පිට කරගන්න හොඳම ක්‍රමයක් තමයි 'කාටහරි' කියන්නෙ නැතුව 'හැමෝටම' කියන එක.

ඉතින් ඔන්න මම ලියනවා අපේ කථාව, සමහර විට හිතෙයි මේවා සිද්ධ වෙන්න පුළුවන් දේවල්ද කියලා, මටත් එහෙම නොහිතුන වෙලාවල් නැතව නෙමෙයි. ඒත් මේ කථාවෙදි ව්‍යාජ නම් ගම් මිසක් ව්‍යාජ සිද්ධි ඇතුලත් නොවෙනව කියල මම සහතික වෙනව, ඒත් අනන්‍යතාව ආරක්ෂා කරගන්න ඕන අවස්ථාවලදි වෙනස් කම් සිද්ධ වෙන්න පුළුවන්....


එහෙනම් දිගටම අපේ කථාව බලන්න.......